"අධ්‍යාපන ක්ෂේත්‍රයට විප්ලවීය ප්‍රවේශයක් ලබාදෙමින් පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමට හැකිවීම අප ලැබූ ඓතිහාසික ජයග්‍රහණයක්"

මුද්‍රණය

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළට විප්ලවීය ප්‍රවේශයක් ලබාදෙමින්, තවත් ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ අධ්‍යාපන අමාත්‍යාංශ වැඩපිළිවෙළට අද (25) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.

මෙය මෑතකාලීන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශිෂ්ට ජයග්‍රහණයක් බවත්, එය සිසු දරුදැරියන්, ගුරුභවතුන්, දෙමව්පියන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත සියලු පාර්ශවයන්ට අතිශයින් සතුටට පත්විය හැකි මොහොතක් බවත්, අමාත්‍යවරයා සදහන් කළා.

මේ සම්බන්ධ ව වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා, මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ සියලු ජාතික පාසල්වල උසස් පෙළ හදාරන සිසුන්ටත් උසස් පෙළ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ටත් ටැබ් පරිගණක ලක්ෂයක් පමණ ලබාදීමට පියවර ගෙන ඇති බව ද, ඉතා ඉක්මණින් පාසල් පද්ධතිය තුළට මෙම ටැබ් පරිගණක බෙදාහැරීමට සහ ඊට අදාළ පුහුණු කිරීම් ලබාදීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළා.

අතිගරු ජනාධිපතිතුමන්ගේත්, අග්‍රාමාත්‍යතුමන්ගේත්, කැබිනට් මණ්ඩලයේත් පූර්ණ සහයෝගය නිසා මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය වෙත හදුන්වාදීමට හැකි වූ බවත්, ඒ වෙනුවෙන් තම කෘතවේදීත්වය පළ කරන බවත් අමාත්‍යවරයා පැවසුවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ලෙස දෙවැනිවර විභාගයට පෙනී සිට සමත් වූ සහ ජාතික පාසල්වලට අනුයුක්ත ව ගුරු සහායක පත්වීම් ලබා සේවයේ යෙදී සිට උපාධි සුදුසුකම හෝ ගුරු පුහුණුව සම්පූර්ණ කිරීම මත ශ්‍රී ලංකා ගුරු සේවයට බදවා ගත් ගුරුවරුන් වෙනුවෙන් අද අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති පත්වීම් ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින්. මෙහි දී නවක ගුරුවරුන් 44 දෙනෙකුට ගුරුපත්වීම් ප්‍රදානය කෙරුණා.

මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, අධ්‍යාපන ලේකම් එම් එන් රණසිංහ සහ රාජ්‍ය ලේකම් තිස්ස හේවා විතාන මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.