සාමය සපිරුණු අසිරිමත් නත්තලක් වේවා!

මුද්‍රණය

ලොව පුරා කිතුනු බැතිමතුන් මහත් උත්කර්ෂයෙන් සමරනු ලබන අසිරිමත් නත්තල් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවාසී සමස්‌ත කිතුනු ජනතාව වෙත මාගේ හදපිරි සුභාශිංසන පුද කර සිටිමි.

කිතු උපත අප වෙත සිහිපත් කරනුයේ සමානාත්මතාවයේ සහ දයාවේ පණිවුඩය යි. බෙත්ලෙහෙ‍ම්පුර දිළිඳු ගවලෙනක ඉපිද, සාමය සහ සමානාත්මතාව පිළිබඳ ලෝ වැසියන්ට කදිම ආදර්ශයක් ගෙනහැර පෑ ක්‍රිස්තුස් වහන්සේට දක්‌වන සැබෑ උපහාරය ‍වන්නේ, ජාතික ආගමික හා සමාජයීය වශයෙන් ඒකාත්මිකව හා සහයෝගශීලීව කටයුතු කිරීම යි.

දේශීය පාසල් පද්ධතිය තුළ, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හරහා අප විසින් අවධාරණය කර සිටින්නේ ද එම සහයෝගශීලී ප්‍රතිපත්තියයි. සාමය, සහයෝගය සහ ඒ හරහා රටේ සියලු ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟීමේ ජාතික අවශ්‍යතාව වෙනුවෙන් රටේ සියලු දූ දරුවන් සහ වැඩිහිටියන් පුරෝගාමී ව කටයුතු කිරීම නත්තල අර්ථවත් කළ හැකි හොඳ ම ක්‍රියාමාර්ගයයි.

"මාගේනාමයෙන්දරුවකුපිළිගන්නාතැනැත්තාමාපිළිගන්නේය"යනුවෙන් එක් අවස්ථාවක දී ජේසුසමිඳුන් දේශනාකර ඇත. දරුවන් වෙනුවෙන්, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ක්‍රියාකාරී මෙහෙවරක යෙදෙන අප සැමට උන්වහන්සේගේ පණිවුඩය සැබෑ පිටුබලයකි. ජාති - ආගම් , පක්ෂ - පාට, ආදී කිසිදු භේදයකින් තොර ව අප ඒකාත්මික විය යුත්තේ දරුවන් වෙනුවෙනි. ඔවුන්ගේ අනාගතය වඩවඩාත් යහපත් කරදීම වෙනුවෙනි.

උදාවන අසිරිමත් නත්තල ලෝ වැසි සියලු හදවත්වල ආදරය, දයාව සහ කරුණාව ජනිත වන,එකිනෙකා කෙරෙහි ගෞරවය, පිළිගැනීම පිරිනැමෙන, සාමය සහ ප්‍රීතිය සපිරුණු සුබ නත්තලක් ම වේවා!