විශ්‍රාමලත් විශිෂ්ට අධ්‍යාපනඥයින්ට සේවා ප්‍රණාම

මුද්‍රණය

15439815 10154884480454060 3763898870548105986 n

කාලීන අවශ්‍යතා මෙන්ම ආගමික සංස්කෘතික හා ආර්ථික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් වූ අධ්‍යාපන ක්‍රමයක් මෙරට ස්ථාපිත කිරීමට ශ්‍රී ලාංකික අධ්‍යාපනඥයින් පුරෝගාමී මෙහෙවරක් සිදු කළා. අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීම, ඒවා ක්‍රියාත්මක කරවීම, ඇගයීම මෙන්ම ඒවා පසු විපරම් කරනු ලැබුවේද ඔවුන් විසින්. තම යුගයේ කාර්යභාරය නිම කොට ජීවිතයේ සැඳෑ සමය ගෙවන එම විශිෂ්ට අධ්‍යාපනඥයින් පිරිසක් ඇගයීමේ උත්සවයක් ඊයේ (14) සවස ජාතික අධ්‍යාපන ආයතනයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික අධ්‍යාපන ආයතනයේ සහයෝගයෙන්, අධ්‍යාපන පරිපාලන සේවයේ විශ්‍රාමික නිලධාරීන්ගේ සංගමය විසින්සංවිධානය කළ මෙම උත්සවයේ දී දිවයිනේ විශිෂ්ට අධ්‍යාපනඥයින් විසි දෙදෙනෙකු ඇගයීමට ලක් වුණා.

උත්සව සභාව ඇමතූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, මෙම අධ්‍යාපනඥයින් අවංකව කාර්යශූරව හා අධ්‍යාපනය පිළිබඳ ගැඹුරකින් කටයුතු කළ අතර, එනිසාම ඔවුන්ගේ සේවය අදටත් සමාජයේ ගරු බුහුමනට ලක් වී ඇති බවයි. අමාත්‍යවරයා හා විශ්‍රාමික අධ්‍යාපනඥයින් අතර සුහද අදහස් හුවමාරුවක් සිදු වූ අතර ලෝකය පුරා සිදුවන කාලීන වෙනස්කම් පිළිබඳ අවධානය යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් ගත් ප්‍රතිපත්තිමය තීරණ මෙහිදී විශ්‍රාමික අධ්‍යපනඥයින්ගේ  ඇගයීමට ලක් වුණා. ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශයට හා ජාතික අධ්‍යාපන ආයතනයට මෙම අධ්‍යාපනඥයින් සතු පරිණත දැනුම හා අත්දැකීම් ලබාගැනීමට  විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස අධ්‍යාපන ලේකම්වරයාට හා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරියට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා.

මෙහිදී චිත්‍රාංගනී අභයදේව, යූ.එම්. අභයවර්ධන, ඒ.එම්.ආර්.බී. අමරකෝන්, කේ.යූ. ආටිගල, ජෙසීමා ඉස්මයිල්, ආචාර්ය එස්.බී. ඒකනායක, කර්නල් වී.එස්. කුඩලිගම, විදුහල්පති ඒ.පී. ගුණරත්න, ඩී.ගුණරත්න, ආචාර්ය ජී.බී. ගුණවර්ධන, ස.මු.ජයතිලක, මහාචාර්ය ස්වර්ණා ජයවීර, ආචාර්ය එස්.එන්. තනිහාසලම් පිල්ලේ, කේ පියසේන පෙරේරා, ස්ටර්ලින් පෙරේරා, වයි.කේ. මුදලිගේ, ඩී.එස්. මෙත්තානන්ද, ගුණපාල වික්‍රමරත්න, අමරා වික්‍රමසිංහ, එල්.බී. සමරකෝන්, ආරිය සුබසිංහ, මිරැන්ඩා හේමලතා යන මහත්ම මහත්මීන් වෙත අධ්‍යාපන විශිෂ්ට සේවා ප්‍රණාම ලබාදුන්නා.