නවතම පුවත්

නායකත්වය හා කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර පුහුණු වැඩසටහනට එක්වීමට තවත් නවක විදුහල්පතිවරු 30 දෙනෙකුට මැලේසියාව බලා යාමට ගුවන් ටිකට්පත්

15193599 10154829394624060 6834724699939208739 n
රටක අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ දී පාසල් පද්ධති‍ය ගුණාත්මකව සංවර්ධනය වීම අත්‍යවශ්‍ය කරුණකි. දක්ෂ විදුහල්පතිවරුන් මේ සඳහා පාසල් පද්ධතියට එක්කරගත යුතුව ඇත. එහෙත් පසුගිය වසර 10ක කාලයක් මුළුල්ලේ ශ්‍රේණිධාරී ගුරුවරුන් විදුහල්පතිවරුන් ලෙස පත් කිරීම සම්බන්ධව විභාග පවත්වා නොමැති අතර, බොහෝ පාසල්වල සිටියේ වැඩ බලන විදුහල්පතිවරුන් ය.

මේ කෙරෙහි විශේෂ අවධානය යොමුකළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා,විදුහල්පතිවරුන් බඳවා ගැනීමට අදාළ තරග විභාගය පැවැත්වීමට නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර, ඒ අනුව පවත්වන ලද විභාගයේ ප්‍රතිඵල මත නවක විදුහල්පතිවරුන් 3901 දෙනෙකු පසුගිය ජුනි 16 වැනි දා විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියට බඳවාගැනීමට පියවර ගනු ලැබිණි.

මෙසේ බඳවාගත් විදුහල්පතිවරුන් වෙනුවෙන් දේශීය මෙන්ම විදේශීය පුහුණු අවස්ථා ලබාදීමට ද අමාත්‍යවරයාගේ සුවිශේෂ අවධානය යොමු වූ අතර, ඒ අනුව, මේ වනවිටත් මැලේසියාවේ නොටින්හැම් විශ්ව විද්‍යාලයේ නායකත්වය හා කළමනාකරණය පිළිබඳ පැවැත්වෙන පුහුණු වැඩසටහන් සඳහා විදුහල්පති කණ්ඩායම් 3ක් යොමු කර ඇත. විදුහල්පති තරග විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් විදුහල්පතිවරුන් මේ සඳහා සම්බන්ධ කරගන්නා ලදී.මෙම පුහුණුවට සම්බන්ධ වන 4 වැනි විදුහල්පතිවරුන් කණ්ඩායම දෙසැම්බර් මස 4 වැනි දින සිට මැලේසියාවේ නොටින්හෑම් විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන පුහුණු වැඩසටහන සඳහා සම්බන්ධ වීමට නියමිත අතර, ඔවුන්ට අදාළ ගුවන් ටිකට් පත් ප්‍රදානය ඊයේ (01) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණා. මෙවර කණ්ඩායම විදුහල්පතිවරුන් 30 දෙනෙකුගෙන් සමන්විතයි.

Search