නවතම පුවත්

තවත් නවක ගුරුවරුන් 269 ක් අධ්‍යාපන පද්ධතියට එක්වේ

15232135 10154823073084060 8030302332382713178 n
නව ලොවට ගැළපෙන පරිදි හා ජාතික හා ජාත්‍යන්තර අවශ්‍යතා සපුරාලිය හැකිවන පරිදි දේශිය අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත් ඒ සඳහා තාක්ෂණවේදය රට තුළ ප්‍රචලිත කිරීමට හා සිසුන්ට එම ක්ෂේත්‍රවලින් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා පුළුල් කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ඒ, අද (30) අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති නව තාක්ෂණ විෂයය ධාරාවට හා නාට්‍ය හා රංග කලාව විෂයට අදාළව ගුරු පත්වීම් පිරිනැමීමේ උත්සව අවස්ථාවට එක්වෙමින්.

ජාතික පාසල් සඳහා ගුරුවරුන් 132 ක් හා පළාත් පාසල් සදහා ගුරුවරුන් 137 ක් වශයෙන් නවක ගුරුවරුන් 269 දෙනෙක් සිය පත්වීම් ලිපි අධ්‍යාපන අමාත්‍යවරයා අතින් ලබාගත්තා. කෘෂිකර්මය හා භෞතික විද්‍යාව විෂයක් ලෙස හැදැරූ උපාධිධාරීන් සඳහා 2015 නොවැම්බර් මස පැවැත්වූ තරග විභාගයෙන් සමත් වූ අයදුම්කරුවන් 213 දෙනෙක් ඔවුන් අතර වෙනවා. මීට අමතරව අධ්‍යාපනවේදී උපාධිධාරීන් 56 දෙනෙක් ද නාට්‍ය හා රංග කලා ගුරුවරුන් ලෙස අධ්‍යාපන පද්ධතියට එක්වෙනවා.

මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

Search