දූෂණ අක්‍රමිකතාවන්ට තිත තබමින් ක්‍රියාත්මක කළ නිල ඇඳුම් වවුචර ක්‍රමය කිසිවෙකුට හෝ ජාවාරමක් කර ගැනීමට ඉඩ තබන්නේ නැහැ - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

මුද්‍රණය

15230824 10154816119284060 4304844943268850417 n
පසුගිය කාලයේ නිල ඇඳුම් රෙදි ලබාදීමේ දී දූෂණ අක්‍රමිකතා රැසක් සිදු වූ වටපිටාවක අනවශ්‍ය මුදල් නාස්තිය ද දැයේ දරුවන් වෙනුවෙන් රජය වෙන් කරන ලද මුදල අපතේ හැරීම ද වළක්වා, රජය දරුවන් වෙත වැය කරන සමස්ත මුදල් ප්‍රමාණය ක්ෂය වීමකින් තොරව දරුවන් අතටම පත්කිරීමේ අරමුණින් නිල ඇඳුම් වවුචරපත් ක්‍රමය ක්‍රියාවට නැංවීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරනවා.

සම්ප්‍රදායික තීන්දු තීරණ වෙනස්කරමින් මහජන මුදල් නාස්තිවීමට ඉඩ නොතබමින් තමන් ගත් මෙම තීරණය හරහා විශාල මුදල් නාස්තියක් වළක්වාගැනීමට හැකි වූ බවත් අනවශ්‍ය ගබඩා වියදම්, ප්‍රවාහන වියදම් මෙන් ම අතයට කොමිස් මුදල් ලෙස නාස්ති වූ මුදල් සම්භාරයක් ද ඉතිරි කරගැනීමට හැකි වී ඇති බවත් සඳහන් කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රජය විසින් ජනතාව වෙනුවෙන් වෙන් කරන මුදල් සෘජුවම ඔවුන් අතට පත් කෙරෙන ලොව ප්‍රශස්ත ක්‍රමවේදයක් ලෙස සැලකෙන වවුචර් ක්‍රමය මේ සඳහා හඳුන්වා දුන් බව ද ප්‍රකාශ කළා. එමෙන්ම පසුගිය වසරට වඩා ආරක්ෂිත වවුචරයක් මෙවර නිකුත් කළ බවද, වෙළඳපොල මිල ගණන් අනුව සසඳමින් ඉහළ ගුණාත්මකභාවයකින් යුත් රෙදි මිලට ගැනීමට හැකිවන පරිදි මුදල් වෙන් කිරීමට පියවර ගත් බව ද සිහිපත් කළා.

ඒ අනුව දිවයින පුරා පිහිටි ඕනෑම රෙදි පිළි අලෙවිසැලකට ගොස් වවුචර ඉදිරිපත් කර, රෙදි මිලට ගත හැකි අවකාශය දරුවන්ට ලබා දී තිබෙනවා. රුපියල් මිලියන 2450 ක මුදලක් මෙවර නිල ඇඳුම් වවුචර ලබාදීමට වෙන් කර ඇති අතර ව්‍යාපාරිකයන් දෙතුන් දෙනෙකුට පමණක් බෙදී ගිය විශාල ධනස්කන්ධයක් මෙරට සියලු රෙදි පිළි අලෙවිකරුවන් අත බෙදී යාම හේතුවෙන් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ද සාර්ථක වී තිබෙනවා.

මීට අමතරව රෙදි පිළි අලෙවිසැල් නොමැති ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ පහසුව සඳහා වවුචර් පත් ඉදිරිපත් කරමින් රෙදි පිළි ලබාගැනීමට ඔවුන්ට හැකිවන පරිදි සළුසල ආයතනයෙන් පහසුකම් ලබාදීමට ද පියවර ගනු ලැබුවේ, අදාළ ප්‍රදේශවල විදුහල්පතිවරුන්ගෙන් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනුයි. නමුත් කිසිදු විටක දරුවන්ට සළුසල විසින් ගෙනඑනු ලබන රෙදි පමණක් ලබාගැනීම අනිවාර්ය කිරීමක් සිදු කර නොමැති අතර ඔවුන්ට අභිමත පරිදි ඕනෑම රෙදිපිළි වෙළඳසැලකින් නිල ඇඳුම් රෙදි මිල දී ගැනීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු ආකාරය දක්වා චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර එහි පැහැදිලිව ම නිල ඇඳුම් වවුචර දරුවන් අතට පත්කළ යුතු බව දක්වා තිබේ. එමෙන්ම කිසිදු ලෙසකින් ව්‍යාපාරිකයින් සමග සම්බන්ධ වෙමින් නිල ඇඳුම් රෙදි අලෙවිකිරීම සඳහා විදුහල්පතිවරුන් මැදිහත් නොවිය යුතු බව ද අවධාරණය කර තිබෙනවා.

මීට අමතරව කිසිදු ලෙසකින් නිල ඇඳුම් ලබාගැනීම සඳහා ව්‍යාපාරික ස්ථානයක් නම් කිරීමට කිසිදු විදුහල්පතිවරයෙකුට හෝ නිලධාරියෙකුට හැකියාවක් නොමැති අතර දරුවන්ගේ සහ දෙමාපියන්ගේ අභිමතය පරිදි තමා කැමති ඕනෑම වෙළඳසැලකින් නිල ඇඳුම් රෙදි ලබා ගත හැකි යි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා දූෂණ අක්‍රමිකතාවලට තිත තැබීම සඳහා ක්‍රියාත්මක කළ නිල ඇඳුම් වවුචර වැඩසටහන හරහා ජාවාරම් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගැනීමට පසුබට නොවන බව ද අවධාරණය කළා.
මීට අමතරව පාසල් දරුවන් සඳහා වවුචර ලබාදීමේදී ඇතැම් විදුහල්පතිවරුන් හා නිලධාරීන් සිදු කරන ලද අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ලැබී ඇති අතර, ඒ පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක කිරීමට ද පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නියෝග කර තිබෙනවා.