නවතම පුවත්

මෙවර අයවැය, රටේ අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කරන්නට අනුබල දෙන, දරුවන් වෙනුවෙන් සහන රැසක් සපිරි අයවැයක්

11111
2017 අයවැය යෝජනා අනුව අධ්‍යාපන ක්ෂේත‍්‍රය නඟාසිටුවීම වෙනුවෙන් රජය වෙන් කර ඇති ප‍්‍රතිපාදන සහ ඒ යටතේ ක‍්‍රියාවට නැංවීමට යෝජිත වැඩසටහන් සම්බන්ධව සියලූම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ හමුවක් අද (11) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

රටේ අධ්‍යාපන පද්ධතිය සවිබල ගැන්වීම වෙනුවෙන් අනුබල දෙන, පාසල් දරුවන් වෙනුවෙන් සහන රැසක් අත්පත් කරදිය හැකි සුවිශේෂ අයවැයක් ලෙස මෙවර අයවැය සැලකිය හැකි බව මෙම විශේෂ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා. මෙවර අයවැයෙන් අධ්‍යාපනයට ප‍්‍රතිපාදන වෙන් කරන ලද සුවිශේෂ ක්ෂේත‍්‍ර කිහිපයක් සම්බන්ධයෙන් ද මෙහිදී අමාත්‍යවරයා පැමිණ සිටි මාධ්‍යවේදීන්ගේ අවධානය යොමු කළා.

ඒ අතර පහත කරුණු අවධාරණය කෙරුණා.

2017 වර්ෂයේ උසස් පෙළ පන්තිවලට ඇතුළත් වන සිසුන් 175,000 කට සහ උසස් පෙළ ගුරුවරුන් 28,000 කට නොමිලයේ TAB පරිගණක ලබා දීමට රුපියල් මිලියන 5,000 ක් වයස අවුරුදු 5 සිට 19 දක්වා වයස් කාණ්ඩයේ පසුවන මිලියන ක් වූ පාසල් දරුවන් ස`දහා සෑම දරුවෙකුටම රුපියල් ලක්ෂ දෙකක් වටිනා රක්ෂණ ආවරණයක් ලැබෙන රක්ෂණ ක‍්‍රමයක් හඳුන්වාදීම සහ මෙම රක්ෂණ ආවරණය වෙනුවෙන් රජය විසින් රුපියල් මිලියන 2,700 ක්

ක‍්‍රීඩා, කලා සහ නව නිර්මාණ වැනි විශේෂ හැකියාවන්ගේ සිට විවිධ සුවිශේෂී හැකියාවන් දායාද කරගත් සිසුන් 1,000 කට සහාය දැක්වීම සඳහා ‘සුභග’ ශිෂ්‍යත්ව වැඩසටහන ක‍්‍රියාවට නැංවීම වෙනුවෙන් එක් ශිෂ්‍යයෙකුට මසකට රු. 2,500 බැගින් ශිෂ්‍යත්ව ප‍්‍රදානය කරනු ලබන අතර මේ සඳහා රුපියල් මිලියන 30 ක්

පාසල් 3,500 ක තොරතුරු තාක්ෂණ පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක් පාසලකට උපරිම වශයෙන් පරිගණක 50 ක් බැගින් කුලී පදනමට ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 5,000 ක්

වසර 13 ක අනිවාර්ය පාසල් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා විද්‍යාගාර උපකරණ හා ලී බඩු ඇතුළත්ව පාසල්වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා තවත් රුපියල් මිලියන 5,000 ක්

පිරිවෙන් අධ්‍යාපනය ලබන සියළුම භික්ෂූන්වහන්සේලා සඳහා මසකට රුපියල් 2,500 ක ශිෂ්‍යාධාරයක් ලබා දීමට රුපියල් මිලියන 50 ක්

පිරිවෙන්වල පොදු පහසකුම් වැඩි කිරීමටත් පිරිවෙන් ගුරුවරුන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 150 ක්

විශේෂ අවශ්‍යතාවන් සහිත දරුවන් සඳහා ගෙවනු ලබන දෛනික දීමනාව රුපියල් 50 සිට රුපියල් 150 දක්වා වැඩි කිරීමට ද විශේෂ අධ්‍යාපනය වැඩි දියුණු කිරීමට සහ විශේෂ අවශ්‍යතාවන් සහිත දරුවන්ගේ දෛනික දීමනාව වැඩි කිරීම සඳහා රුපියල් මිලියන 175 ක්

කෑගල්ල සහ බදුල්ල දිස්ත‍්‍රික්කවල වතු පාසල් 25 ට අමතරව තවත් වතු පාසල් 25 ක තත්ත්වය උසස් කිරීම සඳහා රුපියල් මිලියන 250 ක්

රජයෙන් වැටුප් ලබන අර්ධ රාජ්‍ය ගණයට ගැනෙන පාසල්වල ගුරු භවතුන් සඳහා අග‍්‍රහාර රක්ෂණ ක‍්‍රමය, දේපළ ණය හා ආපදා ණය පහසුකම ලබා දීමට සඳහා රුපියල් මිලියන 25 ක්

2017 වසර අවසානය වන විට දිවයිනේ පාසල් 1,000 ක් සඳහා මූලික පහසුකම් වන ජලය, විදුලිය සහ සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීමට 2017 වසර සඳහා රුපියල් මිලියන 2,000 ක අතිරේක මුදලක්

පිට පළාත් පාසල් 1,000 ක ක‍්‍රිකට් ක‍්‍රීඩාව නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා ක‍්‍රීඩා අමාත්‍යාංශය සමඟ එක්ව කටයුතු කිරීම සඳහා රුපියල් මිලියන 250 ක්

2017 වසරේ අයවැයෙන් අධ්‍යාපනයට කරන ලද වෙන් කිරීම් අතර, ඉහත කරුණු විශේෂයෙන් ම කැපී පෙනෙන බවත්, සංවර්ධනය කරා යන ගමනේ දී අධ්‍යාපනයට රජය ලබාදී ඇති ප‍්‍රමුඛතාව අතිශයින් ම සතුටුදායක බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.

සැමවිටම, සෑම දෙයක් ම විවේචනය කරන ඇතැම් දේශපාලන කණ්ඩායම් මෙම ජනතාවට හිතකර මෙම අයවැය හමුවේ නිරුත්තර වී ඇති බවත්, ඇතැමුන් විවිධ පුහු තර්ක ගොඩනගමින් ජනතාව මුලා කරමින් සිටින බවත් මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

Search