නවතම පුවත්

අධ්‍යාපනය සදහා වෙන්වූ අයවැය ප්‍රතිපාදන කප්පාදුවක් වී නැහැ.

Akila Viraj Kariyawasam
මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති මුදල් කපා හැර ඇති බවට ඇතැම් පිරිස් සාවද්‍ය මතයක් ගෙන යන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා. ඒ ඊයේ (22) පැවති 2017 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරකසභා අවස්ථාවේ තෙවැනි දින විවාදයට එක්වෙමින්.

පසුගිය රජය 2014 වර්ෂයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් සඳහා වෙන්කර තිබුනේ රුපියල් බිලියන 15.1 ක් බවත් 2015 වර්ෂයේ රුපියල් බිලියන 17.8 ක් වෙන් කළ නමුත් මුදල් ලබා දි තිබෙන්නේ බිලියන 15.8 ක් පමණක් බවත් පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා වත්මන් රජය බලයට පත් වීමෙන් පසු 2016 වර්ෂයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රු. බිලියන 82.5 ක් වෙන් කළ බවත් ඉන් රුපියල් බිලියන 64 ක් ඉදිකිරීම් සඳහා සහ රුපියල් බිලියන 17.6 ක් භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙන් කළ බවත් සඳහන් කළා.

එසේම ඇතැම් පිරිස් සාවද්‍ය සංඛ්‍යා ලේඛන තොරතුරු මත පදනම් වී අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රතිපාදන කපා හැර ඇති බව පැවසූ අමාත්‍යවරයා විශේෂයෙන්ම ළගම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල් 7,000 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති විවිධ මට්ටමින් ක්‍රියාත්මක කෙරෙමින් පවතින බවත් එම ඉදිකිරීම් වෙනුවෙන් 2016 වර්ෂයට වෙන් කර ඇති රුපියල් බිලියන 64 සඳහා බැඳීම් හා ඇස්තමේන්තු සකස් කර ටෙන්ඩර් ගත කර ඇති බැවින් නියමිත ප්‍රතිපාදන සියල්ල අදාළ ව්‍යාපෘති සඳහා යෙදවීමට කිසිම බාධාවක් නැති බවත් ඒ අනුව විද්‍යාගාර, සනීපාරක්ෂක පහසුකම්, පුස්තකාල, සෞන්දර්යය ගොඩනැගිලි, පරිපාලන ගොඩනැගිලි ආදී ව්‍යාපෘති වෙනුවෙන් සඳහා රු. බිලියන 40 ක බැඳීම් ඇති කරගෙන ඇති බවත් මීට අමතරව රුපියල් බිලියන 24 ක් සඳහා ඇස්තමේන්තු සකස් කර ටෙන්ඩර් කර ඇති බවත් පැවසුවා. එසේම මෙම සියලු ව්‍යාපෘතීන් සඳහා අදාළ ගෙවීම් කටයුතු සඳහා පියවරෙන් පියවර මුදල් නිකුත් කරන බව ද පවසා සිටියා.

පසුගිය රජය සමයේ මෙන් හිතමිත්‍රාදීන්ට විධිමත් ටෙන්ඩර් කැඳවීම් වලින් තොරව ව්‍යාපෘති ලබාදීම වෙනුවට නව රජය සියලුම ව්‍යාපෘතීන් සහ මිළදී ගැනීම් සඳහා නියමිත ටෙන්ඩර් පරිපාටි අනුගමනය කළ බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Search