නවතම පුවත්

ලෝක ගුරු දිනය දා තමන්ගේ ගුරු මව්පියවරුන්ට “ස්තුතියි” පවසා තම කෘතවේදීත්වය පළ කරන්නැ'යි අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

14570222 10154629281894060 6711729410976797421 n
ජීවිතයේ අභියෝග ජයගත හැකි මනා පෞරුෂයකින් හෙබි පුරවැසියන් සමාජගත කිරීම වෙනුවෙන් ගුරු මව්පියවරුන්ට ඇති සුවිශේෂී හැකියාව අගය කිරීම සෑම පුද්ගලයෙකුගේම වගකීමක් වන අතර සියලු වෘත්තීන් අතර ඉහළම වෘත්තිය ලෙස ගුරු වෘත්තිය හැඳින්විය හැකි බව අධ්‍යාපන අමාත්‍යවරයාගේ අදහසයි.

රටත් එහි ජනතාවත් වර්තමානයේ සිටින ස්ථානයෙන් ඉහළට ඔසවා තැබිය හැක්කේ ගුරුවරුන්ට වන අතර ශිෂ්ට සම්පන්න හා විනය ගරුක ප්‍රජාවක් බිහිකිරීමේ වගකීම ද ගුරුවරුන් විසින් ඉටු කරනු ලබයි. දැනුම සහ නිර්මාණශීලී හැඟීම් ප්‍රකාශන හැකියාව සමස්ත ජනතාව තුළ අවදි කිරීමේ සුපිරි කලාව ගුරුවරුන් සතු ය.

අපට සිප්කිරි පෙවූ ගුරුවරුන් අද වියපත්ව ජීවිතයේ සැඳෑ සමය ගෙවනවා විය හැකි ය. නැතිනම් තමා විසින් ශිල්ප සෑදූ දහස් ගණනක් සිසුන් ගැන සිතමින් සතුටු කඳුළු වගුරනවා විය හැකි ය. ඔබටත් මටත් ජීවිතයට පාර කියා දුන් ඒ මිනිසත්කමේ මහිමය අගය කිරීමට අපි සැවොම එක් විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිහිපත් කරනවා.

වර්තමානයේ කුමන තරාතිරමක සිටිය ද තමන්ට අධ්‍යාපනය ලබා දෙමින් යහමගට ගැනීමට උත්සාහ කළ තමන්ගේ ගුරු මව්වරුන්ට හා පියවරුන්ට කෘතවේදීත්වය පළ කිරීම සඳහා එළඹෙන ලෝක ගුරු දිනදා (ඔක්තෝබර් 06) දුරකථන ඇමතුමක් හෝ ලබා දී ඔවුන් වෙත තම කෘතවේදීත්වය පළ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තෑගි බෝග ලබාදීමෙන් හෝ වචන දහස් ගණනක් පැවසීමෙන් ගුරුවරුන්ට ලබා දිය නොහැකි අගය කිරීමක් “ස්තූතියි" යන වචනයෙන් පැවසිය හැකි බව පවසන අමාත්‍යවරයා, තම කෘතවේදිත්වය ගුරුවරයා හමුවීමෙන්, දුරකථන ඇමතුමකින්, සමාජ ජාල මගින් හෝ වෙනත් කුමන හෝ මාර්ගයකින් පිරිනැමීමට කටයුතු කරන මෙන් වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.

Search