නවතම පුවත්

ලෝක ළමා දිනයට ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා නිකුත් කල පණිවිඩය.

14435326 10154620008004060 8556582819871181276 o
නොවැම්බර් 20 දිනට යෙදී ඇති එක්සත් ජාතීන්ගේ විශ්ව ළමා දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ අප ඔක්තෝබර් පළමුවෙනිදා ළමා දිනය සමරයි. දරුවන් කෙරෙහි බැඳුනු ආදරය හා රැකවරණය අප සංස්කෘතිය හා බද්ධව පවතින්නකි. දරුවන් දෑස මෙන් රැක බලා ගැනීමේ වගකීම වෙනුවෙන් මෙරට සංස්කෘතිය අතීතයේ පටන් හැඩගැසී තිබේ. මෙවර ළමා දිනය සමරන විට මෙරට දරුවන් හමුවේ ඇති අභියෝග දෙස අවධානය යොමු කර ඒවා නිරාකරණයට මැදිහත්වීමේ වගකීම වැඩිහිටියන් වෙත පැවරී ඇත. රැකවරණය අහිමිවීම, සමාන අවස්ථා අහිමිවීම, පෝෂණය හා සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ ගැටළු, මත්ද්‍රව්‍ය උවදුර, නව සන්නිවේදන තාක්ෂණ අවභාවිතය ළමුන් මුහූණ දෙන ප්‍රමුඛ අභියෝගයන් ය.

ඒවාට සාර්ථකව මුහුණදීම සඳහා ඔවුන් සවිබල ගැන්වීමේ වගකීම හා වගවීම රජයක් ලෙස අපට ද පුරවැසියන් ලෙස ඔබ සියලු දෙනාට ද පැවරී ඇත. ඉදිරි වසර දහය හෝ විස්ස ඇතුළත රටේ අනාගතය ගොඩනැංවෙන්නේ මේ දරුවන්ගේ දෙඋර මතිනි. ඔවුන්ගේ හැකියා, ආකල්ප හා දක්ෂතා මත අපේ රටේ ඉරණම තීරණය වනු ඇත. එබැවින් එම වගකීම හරියාකාරව ඉටු කළ හැකි, යහපත් පෞරුෂයෙන් හෙබි, මානව හිතවාදී, සමානාත්මතාවය ගරු කරන පුරවැසියකු බිහිකිරීමේ වගකීම සුළු පටු නොවේ.

දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ මූලික වගකීම දරන අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරියේ දී වසර 13 ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනය ලබාදෙමින් දරුවන් හැකියාවලින් පිරිපුන් යහපත් පුරවැසියන් ලෙස සමාජයට දායාද කිරීමේ මෙහෙවරකට අවතීර්ණ වී සිටි. ඒ අනුව නූතනත්වයට ගැළපෙන නව විෂයමාලා හඳුන්වා දෙමින් ද රැකියා අභිමුඛ අධ්‍යාපන අවස්ථා නිර්මාණය කරමින් ද අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීම සඳහා විශේෂ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.

ගතානුගතික යල් පැන ගිය ආකල්ප පසෙකලා අපගේ සංස්කෘතික අනන්‍යතාවය අගය කරන නවීන ලෝකය ජයගත හැකි දරුවන් නිර්මාණය කිරීමට වැඩිහිටි අප කටයුතු කළ යුතු ය.

එමෙන් ම නව අනාගත අභියෝග ජයගැනීමේ හැකියාව ඇති, ශ්‍රී ලංකාව ලෝකයේ සාඩම්බර රාජ්‍යයක් බවට පත් කිරීමේ තිර අදිටනත් යහපත් පුරවැසියකු ලෙස තම මව්පියන්ගේත්, ගුරුවරුන්ගේත් අභිමානය ආරක්ෂා කිරීමේ සිතුවිල්ලත් සියලු දරුවන් ද තම මනස තුළ තදින් රෝපණය කර ගත යුතු ය.

අකිල විරාජ් කාරියවසම්
අධ්‍යාපන අමාත්‍ය

Search