මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වර්ෂයයි

මුද්‍රණය

විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා සෑම වසරකම නිශ්චිත දිනයක්
පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේදී වැරදි සිදු කර ඇත්නම් තරාතිරම නොබලා දඬුවම් ලබා දෙනවා.
පෙළපොත් බෙදා දීමේ ජාතික උත්සවය අමතමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියයි.

2017 වර්ෂ්‍ය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය දැවැන්ත හැරවුමකට ලක්කරන වර්ෂයක් බවත් ඒ අනුව මෙරට පාසල් අධ්‍යාපනයට අදාළව ප්‍රතිසංස්කරණ රැසක් මේ වසර තුළ ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා. ඒ අද (05) 2017 වසර සඳහා පෙළපොත් බෙදා දීමේ ජාතික මහෝත්සවය කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ දී පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

ඒ අනුව ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවීමටත් වසර 13 ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමටත් සෑම පාසල් සිසුවකුට ම සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාදීමටත් අ.පො.ස. උසස් පෙළ හදාරණ සියලු සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමටත් එම ටැබ් පරිගණක තුළ අවශ්‍ය විෂය නිර්දේශ හා ඉගෙනුම් පහසුකම් ඇතුළත් කිරීමටත් කටයුතු සූදානම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවා.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඉදිරියේ දී අ.පො.ස. උසස් පෙළ හා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා වසරේ නිශ්චිත දිනයන් ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි.

එසේම පාසල්වල 2017 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සාධාරණ පරිදි සිදු කිරීමට තමන් පියවර ගත් අතර චක්‍රලේඛ අනුව කටයුතු සිදු නොකරන පිරිස්වලට එරෙහිව තරාතිරම නොබලා කටයුතු කරන බව ද දේශපාලන සම්බන්ධතා හෝ හිතවත්කම් මත කිසිවකුට විශේෂත්වයක් නොදක්වන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

රට පුරා පාසල්වල ඉගෙනුම ලබන හතලිස් තුන් ලක්ෂකට අධික පාසල් සිසුන් වෙනුවෙන් මෙවර පෙළපොත් මිලියන 42ක් මුද්‍රණය කෙරුණා. ‍පෙළපොත් වර්ග 410ක් ඒ යටතේ මුද්‍රණය කරන ලද අතර, පාසල් පෙළ පොත් මුද්‍රණය බෙදාහැරීම ඇතුලු කටයුතු සඳහා රජය මගින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5,415 ක්. 2017 වසර වෙනුවෙන් දෙවැනි ශ්‍රේණිය සහ 8 වැනි ශ්‍රේණිවලට මෙවර නව විෂය නිර්දේශ හඳුන්වා දී ඇති අතර ඊට අදාළව අලුත් ම පෙළපොත් වර්ග 53ක් ද මේ වනවිට සියලු ම පාසල් වෙත නිකුත් කර අවසන්.

ඉදිරියේ දී තෝරාගත් විෂයයන් කිහිපයක් සඳහා ඉලෙක්ට්‍රොනික් පෙළපොත් සකස් කිරීමට ද අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇති අතර, එහි ආරම්භක පියවරක් වශයෙන් අ.පො.ස උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව යටතේ මෝටර් කාර්මික විද්‍යාව සහ ජෛව රසායන විද්‍යාව විෂයයන්ට අදාළව සිංහල සහ දෙමළ මාධ්‍යයෙනුත්, 11 ශ්‍රේණියේ විද්‍යාව විෂයට සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන මාධය තුනෙනුත් ඊ පෙළපොත් ලබාදීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

එමෙන් ම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන සියලු පෙළ පොත්වල මෘදු පිටපත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් බාගත කර ගැනීමේ හැකියාව ද මේ වනවිටත් සලසා දී තිබෙනවා.

මේ උත්සව අවස්ථාවට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි. එම්. කේ. බී. ඉලංගසිංහ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.