මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල තැබීම හෙට (03)

මුද්‍රණය

ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඉල්ලීමක් අනුව කුලියාපිටියේ ලබුයාය, මහනුගලන්ද වත්තේදී ඉදි කරනු ලබන මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව සඳහා මුල්ගල තැබීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (03) සවස 4.00 ට පැවැත්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීමෙන් ඉදිවන මෙම මෝටර් රථ කර්මාන්ත ශාලාවඉදිකිරීම හරහා ප්‍රදේශයේ ජනතාව වෙත සෘජු හා වක්‍ර රැකියා ඇතුලු වෙනත් ආදායම් උත්පාදන මාර්ග ද බිහිවෙනවා. එසේම මෙම මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ දී මෙරට තරුණ තරුණියන්ට මෝටර් කාර්මික අධ්‍යාපනය ලබා ගැනීමට ඉඩප්‍රස්ථා විවර වීම ද විශේෂත්වයක්.

2015 අගෝස්තු මස 13 වන දින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ඇති කරගත් ගිවිසුමක් අනුව ඉදිකරන මෙම කර්මාන්ත ශාලාවේ දී VALKSWAGEN හා AUDI ඇතුලු මෝටර් රථ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර මෙම ව්‍යාපෘතිය සදහා ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 26.5 ක්.