නවතම පුවත්

ඉ-ඉගෙනුම් ක්‍රියාවලිය සවිබලගන්වන්නට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ කැළණිය සරසවිය එක්වෙයි

අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සාක්ෂාත් කිරීම වෙනුවෙන් සක්‍රීය ව දායක විය හැකි, නූතන තාක්ෂණික අභියෝගවලට සාර්ථක ව මුහුණ දීමට සමත් විශිෂ්ට ගුරුපරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඩිජිටල් ඉගෙනුම් තාක්ෂණය පාසල් අධ්‍යාපන පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

 

මේ යටතේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ඵලදායී ඉ-ඉගෙනුම් පරිසරයක් පාසල් තුළ නිර්මාණය කළ හැකි පරිදි ඩිජිටල් ඉගෙනුම් ආධාරක නිර්මාණය කිරීම, ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම, නිර්මාණාත්මක ඩිජිටල් අධ්‍යාපන වැඩසටහන් සකස් කිරීම ඇතුළු ඉ- ඉගෙනුම් කාර්යයන් රැසක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇති අතර, කැළණිය විශ්ව විද්‍යාලයේ සහාය ඇතිව ඊට අදාළ සම්පත් පුද්ගල සහාය සහ ඩිජිටල් පහසුකම් ලබාගැනීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, කැලණිය විශ්වවිද්‍යාලයේ පසුගිය වසරේ ඉදිකරන ලද නව පරිගණක තාක්ෂණ පීඨයේ ජාතික ඉ-ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය (NELRC)යොදාගනිමින් ඉදිරියේ දී මෙම ඩිජිටල් ඉගෙනුම් වැඩසටහන් නිර්මාණය කිරීම සහ අදාළ ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් යොදාගැනීමට අපේක්ෂිතයි.

අධ්‍යාපන අමාත්‍යාංශයත්, කැළණිය විශ්වවිද්‍යාලයත් අතර මේ සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා. අධ්‍යාපන අමාත්‍යාංශ පාර්ශවයෙන් අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී එම් සේමසීංහ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

Search