නවතම පුවත්

උසස් පෙළ සමත් සිසුන් විද්‍යා සහ ගණිත අංශවලින් උසස් අධ්‍යාපනයට යොමු කරවීම සඳහා ඉදිරියේ දී නව ක්‍රමවේදයක්

 

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් වන සිසුන් විද්‍යා සහ ගණිත අංශවලින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු කරවීම සඳහා නව වැඩපිළිවෙළක් සැලසුම් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා (04) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති පාසල් 3000 ක් සඳහා ජංගම විද්‍යාගාර උපකරණ කට්ටල ලබා දීම පිළිබඳව විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින්.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා විද්‍යා සහ ගණිත විෂයයන්ට අදාළ පීඨ වෙත ඇතුළත් වන සිසුන්ගේ හිඟයක් පවතින බවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කළ දැනුවත් කිරීමක් මත මෙම පියවර ගැනීමට තීරණය කළ බවත් එම වැඩපිළිවෙළ මේ වන විට සැකසෙමින් පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දැවැන්ත ගුණාත්මක දියුණුවක් ඇති කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලික අරමුණ බවත් නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමේ කිසිදු අවශ්‍යතාවක් වත්මන් රජයට නොමැති බවත් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී පැහැදිලි කළා. නිසි සැලසුම්, අධ්‍යයනයන් සහ සංකල්ප පදනම් කරගනිමින් දියත් කරන ලද, නිදහස් අධ්‍යාපනය තවදුරටත් ආරක්ෂා කිරීමේ ක්‍රියාමාර්ග මිස, එය කප්පාදු කිරීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් රජය ගෙන නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නා.

ඉතා දුෂ්කර ප්‍රදේශවල පිහිටි, අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින, කුඩා ප්‍රමාණයේ පාසල් 3000 ක් සඳහා මෙම ජංගම විද්‍යා උපකරණ කට්ටල පිරිනැමීමට නියමිතයි. මෙම ජංගම විද්‍යාගාර උපකරණ කට්ටලයක් සඳහා වැයවන්නේ රුපියල් එක් ලක්ෂ තිස් හතරදහසක පමණ මුදලක් බැවින් එය සිසුන් අඩු පිරිසක් සිටින පාසල්වලට වඩාත් ප්‍රතිඵලදායක වේ. වසර 05 ක් සඳහා ප්‍රමාණවත් උපකරණ සහ රසායන ද්‍රව්‍ය මෙම කට්ටලයට අඩංගු වන අතර එය ඉතා පහසුවෙන් එහා මෙහා රැගෙන යාමට සහ පන්ති කාමරය තුළ භාවිතා කිරීමට ද හැකි වන පරිදි සකසා තිබේ. එම පාසල්වල, 06 සිට 11 ශ්‍රේණිවල සිසුන්ගේ විද්‍යා ක්‍රියාකාරකම් සඳහා මෙම විද්‍යා උපකරණ කට්ටල භාවිතා කිරීමට නියමිතයි.

මහා සංඝරත්නය ප්‍රමුඛව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, අතිරේක ලේකම් සේනානි හේවගේ මහතා ඇතුළු නිලධාරීන් සහ විදුහල්පතිවරුන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

Search