නවතම පුවත්

මුහුදු පුරා විද්‍යා උරුමයන් රැසක් සුරැකීමේ උත්සාහයක්

ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය මඟින් පසුගිය දිනවල සිදුකරන ලද ගවේෂණ ඔස්සේ කොළඹ ආශ්‍රිත මුහුදු තීරයේ තිබී ගිලී ගිය යාත්‍රා රාශියක තොරතුරු අනාවරණය වී තිබෙනවා. දෙහිවල ආශ්‍රිත මුහුදු ප්‍රදේශය මූලික කරගනිමින් ක්‍රියාත්මක කළ ගවේෂණයේ දී ගිලී ගිය යාත්‍රා 20කට ආසන්න ප්‍රමාණයක තොරතුරු ලැබී ඇති අතර වසර 100කට වඩා පැරණි යැයි අනුමාන කළ හැකි යාත්‍රා මෙන්ම මෑතකාලීන ව ගිලී ගිය යාත්‍රා ද ඒ අතර පවතිනවා.

 

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු විධිමත් කරමින් පුරාවිද්‍යා ගවේශන හා සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් හා විශේෂඥ සහාය ලබාදීමට පියවර ගත් අතර විශේෂයෙන් සමුද්‍ර පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ යොදාගන්නා නවීන විද්‍යාත්මක ක්‍රමවේද හා උපකරණ භාවිතයෙන් ගිලී ගිය නෞකා සම්බන්ධ ව අවශ්‍ය පර්යේෂණ සිදුකිරීමට අවධානය යොමු කරන ලෙස ද උපදෙස් ලබා දී තිබෙනවා.

මුහුදු පුරා විද්‍යා උරුමයන් රැසක් පවතින දකුණු මුහුදු තීරය මෙරට සමුද්‍ර පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ දී අතිශයින් වැදගත්වන අතර එහි පවතින ගල්පර හා දියවැල් හේතුවෙන් යාත්‍රා ගමනාගමනයට බාධා සහිත කලාපයක් වශයෙන් ද මෙම කලාපය පුරාවිද්‍යා පූර්ව ගවේෂණ ඔස්සේ හඳුනාගෙන තිබෙනවා.

මෙහි සිදු කළ ගවේශනයේ දී 1871 වර්ෂයේ දී ගාල්ලේ දී මුහුදුබත් වී ඇති වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වූ රාජකීය තැපැල් නැවක් (Royal mail Ship) ලෙස සැලකෙන RMS Rangoon නෞකාවේ ශේෂ වූ කොටස් ගාලු වරායට නාවික සැතපුම් 7ක් දුරකින් මීටර් 30ක් පමණ ගැඹුරු මුහුදේ තැන්පත්ව තිබී සොයාගෙන තිබෙනවා.

පර්යේෂණයට ලක් වූ බොහෝ යාත්‍රා මීටර් 25කට වඩා ගැඹුරු මුහුදේ තැන්පත් වී ඇති අතර, ලෝහ භාවිතයෙන් නිපදවා ඇති මෙම යාත්‍රා අතර විශාල භාණ්ඩ ප්‍රවාහන නෞකා මෙන් ම වාෂ්ප නෞකා ද, කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ වාෂ්ප නෞකා ද එන්ජින් බලයෙන් ක්‍රියාත්මක වූ බත්තල් ද වෙනවා.

 

ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මූලිකත්වයෙන් සමුද්‍ර පුරාවිද්‍යා ක්ෂේත්‍රය තුළ ද මැතකාලීන ව ගවේෂණ කටයුතු රැසක් මේ වන විට සිදුකරමින් පවතිනවා.

මීට අමතරව මෙම ගවේෂණ වැඩසටහන යටතේ උනවටුන සංචාරක කලාපයට අයත් විශාල ගල්පර සහිත මුහුදු පත්ල පරීක්ෂා කිරීම, ඒ අවට ගිලී ගිය කුඩා යාත්‍රා ගවේෂණය කිරීම, Iron wreck 2 නම් නෞකාවේ තත්ත්ව පරීක්ෂණ කටයුතු ද සිදුකිරීමට අපේක්ෂිතයි.

මෙම සමුද්‍ර පුරාවිද්‍යා ගවේෂණ ව්‍යාපෘතිය සඳහා නෙදර්ලන්ත රජයේ සහයෝගය ද මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ලැබෙන අතර මෙරට පළමු සමුද්‍ර පුරාවිද්‍යා කිමිදුම් කණ්ඩායමක් ද මීට සමගාමීව බිහි කරනු ලැබුවා.

මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකරන ලද ගවේෂණ මගින් හමු වූ පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් භාණ්ඩ හා උපකරණ රැසක් මේ වනවිට ගාල්ල කොටුවේ ස්ථාපිත කර ඇති මුහුදු පුරා විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා.

 

Search