නවතම පුවත්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් සම්බුද්ධ ශාසනය බැබළ වූ සංඝ පීතෘවරයෙක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම සියලු බෞද්ධයන්ට සිදු වූ සුවිශාල පාඩුවක් මෙන් ම බලවත් සංවේගය දනවන්නකි. ගිරාඹේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ විවිධ කාල වකවානුවල මෙරට පැවති සමාජ අර්බුද විසඳීමට නොපසුබටව, අපක්ෂපාතීව, අභීතව, මැදිහත් වෙමින් අතීත ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂුවගේ කාර්යභාරය මෑතකාලීනව හඳුනාගෙන ඒ සඳහා සක්‍රීයව කටයුතු කළ භික්ෂූන් වහන්සේ අතර සිටි අති ගෞරවනීය යතිවරයාණන් වහන්සේ නමක් බව අවිවාදිත ය.

සම්බුද්ධ ශාසනය ආරක්ෂා කොට පෝෂණය කරමින් තවත් වසර දහස් ගණනාවක් බුදු සසුන සුරක්ෂිතව පවත්වාගෙන යාමට අවශ්‍ය සඟ පිරිසක් නිර්මාණය කිරීමේ කාර්යභාරය වෙනුවෙන් තුන් සියයකට අධික ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ සංඛ්‍යාවකට උන් වහන්සේ ගුරුවරයාණන් වූ හ. නාරාහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා සංඝ මූලස්ථානය ඉදිකිරීමට මූලිකත්වය ගත් උන් වහන්සේ මෙරට බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමට අනුපමේය සේවාවක් ඉටුකරන අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන, පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙන, නාරම්මල සීලවතී පිරිවෙන ඇතුළු පිරිවෙන් විහාරස්ථාන තිහකට පමණ අනුශාසකත්වය ද ලබා දුන් හ.

ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ස්ථාපිත කිරීමට මෙන් ම සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට සැබෑ බෞද්ධ ප්‍රතිපදාව අනුව කටයුතු කළ උන්වහන්සේ ඉතාමත් සුහදශීලිව අප ඇසුරු කරමින් රට, ජාතිය හා ආගමේ අභිවෘද්ධිය පිණිස නිතර අවවාද අනුශාසනා කරමින් ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශකත්වය නිරන්තර ලබා දුන් සංඝ පීතෘවරයකු විය.

සිල්වත්ව, ගුණවත්ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් සම්බුද්ධ ශාසනය බබළවමින් සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් සුවපත් කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම ගමට, රටට පමණක් නොව මුළු මහත් ලෝකයටම සිදු වූ පාඩුවක් බව නැවතත් සිහිපත් කරමින් උන් වහන්සේගේ අපවත්වීම ‍පිළිබඳ මාගේ සාතිශය සංවේගය පළ කරන අතර අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමිපාණන් වහන්සේට අමා මහ නිවන‍් සුව ලැබේවා යි පතමි.

 

 

අකිල විරාජ් කාරියවසම්,

අධ්‍යාපන අමාත්‍ය,

ලෝක එක්සත් බෞද්ධ සංඝ සභාවේ ගිහි සභාපති.

Search