දරුවන් මුහුණ දෙන ගැටළු ද විසඳීමට හැකි වන පරිදි ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක්

මුද්‍රණය

පසුගිය දා සමාජ පීඩනයට ලක්ව අධ්‍යාපන කටයුතු සඳහා බාධා එල්ල වූ ගනේමුල්ලේ පාසල් සිසුවියට, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීමෙන් නව ජාතික පාසලක් ලබාදීමට අද (18) පියවර ගැනුණි.

ඒ සමාජ සවිබලගැන්වීම් හා සමාජ සුබසාධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් එම දැරිය අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමු කරවීමෙන් අනතුරුවයි.

අදාළ පාසල් සිසුවියට එක්තරා රෝගී තත්ත්වයක් පිළිබඳව පවසමින් අසාධාරණ ලෙස පාසල් බලධාරීන් විසින් පරිභව කර ඇති බවට ද පසුගිය දා මාධ්‍ය වාර්තා පළ වුණි.

එම නිසා ඇයට සිය පාසල ද අහිමි වන තත්ත්වයක් මතුව ඇති බව එම මාධ්‍ය වාර්තා වල සඳහන් වුණි.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ඇතැම් අධ්‍යාපන බලධාරීන් විසින් සිදුකරනු ලබන ක්‍රියා පිළිබඳව තමන් කණගාටුව පළ කරන බවයි.

පළාත් පාසල් අධ්‍යාපන බලධාරීන් විසින් පළාත් මට්ටමින් සිදුවන මෙවැනි සිදුවීම් කළමනාකරණය කිරීමට සක්‍රීයව මැදිහත් විය යුතු බවත්, ඒවා ජාතික තලයට ගෙන ඒමට කටයුතු නොකළ යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුනි.

මෙවැනි සිදුවීම් හේතුවෙන් දරුවන් මුහුණ දෙන ගැටළු ද විසඳීමට හැකි වන පරිදි ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බවත්, දිවයිනේ සියලු රජයේ, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් එම ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලය තුළින් නියාමනයට ලක් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

අදාළ දැරියගේ පියාට ද අධ්‍යාපන සුදුසුකම් වලට අනුව සුදුසු රැකියාවක් ලබා දීමට ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.

මෙහි දී අදහස් පළකළ සමාජ සවිබලගැන්වීමේ හා සමාජ සුබසාධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසුවේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීම ප්‍රශංසනීය බවයි.

එමෙන්ම එම සිදුවීම සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගැනීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කරන බවත්, මෙම සිදූවීම පිළිබඳව සමාජ මාධ්‍ය ජාල හරහා ද්වේශ සහගත ප්‍රකාශයන් සිදුකරන පිරිස් වෙත මෙය කදිම පිළිතුරක් බවත් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙහි දී කියා සිටියේය.