නවතම පුවත්

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ එක්සත් ජාතික පක්ෂයේ අභිනව මහලේකම්වරයා සිය නිල රාජකාරි කටයුතු අරඹයි.

එක්සත් ජාතික පක්ෂයේ නව මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සුබ මොහොතින් සිය රාජකාරියෙහි නිල කටයුතු ආරම්භ කළා. ඒ ඊයේ (07) උදෑසන මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේයි. සර්ව ආගමික වතාවත් ද මෙහි දී සිදු කෙරුණා.

මීට සමගාමීව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණයන් මතින් විජයග්‍රහණයන් කරා ගෙනයාමේ අරමුණින් සංවිධානය කෙරුණු පුනරුදයට ඇරඹුම වැඩසටහන යටතේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනායක් ද පැවැත්වුණා.එක්සත් ජාතික පක්ෂයේ මිය ගිය නායකයින්,පක්ෂය වෙනුවෙන් විවිධ කැපකිරීම් සහ විවිධ පරිත්‍යාගයන් සිදුකළ ජනතා නායකයින් සහ සාමාජිකයන් සිහිපත් කරමින් , සියලු පාක්ෂිකයන්ට මෙන් ම රටවැසියන්ට සෙත් පැතීම මෙහි අරමුණ වුණා.

පරිත්‍රාණ ධර්ම දේශනාව අවසන් කොට මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව නව පක්ෂ මහ ලේකම්වරයා සිය රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමේ චාම් උත්සවය පැවැත්වුණා.

ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සියක් නමක් විෂයෙහි සූදානම් කරන ලද හීල් දානය පූජා කිරීමේ පින්කමකට සහභාගී වුණා.

අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායකයින්ගේ පිළිරූවලට පුෂ්පෝපහාර දැක්වූ නව මහ ලේකම්වරයා ජාතික සේවක සංගමයේ ප්‍රධාන කාර්යාලය වෙත ගොස් ජාතික සේවක සංගමයේ නිර්මාතෘ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයෙකු වු දිවංගත ජනාධිපති ජේ ආර් ජයවර්ධන මැතිදුන්ගේ පිළිරුවට ද පුෂ්පෝපහාර දැක්වූවා.

ඉන් අනතුරුව නැවත සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා පක්ෂයේ මැති ඇමැතිවරුන් සහ පක්ෂ සාමාජිකයන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා.

 

Search