"එදා අධ්‍යාපන ක්ෂේත්‍රයේ අඩුපාඩු නොදුටු ඇතැම් කණ්ඩායම් අද සාර්ථකත්වයට අකුල් හෙළමින් සිටිනවා "

මුද්‍රණය

පසුගිය සමයේ අධ්‍යාපන ක්ෂේත්‍රය කඩා වැටෙද්දී මුණිවත රකිමින් සිටි ඇතැම් වෘත්තීය සමිති අද අධ්‍යාපනයේ සාර්ථකත්වය හමුවේ තම ජනප්‍රියත්වය උදෙසා විවිද පදනම් විරහිත චෝදනා එල්ල කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

සුපිරි පාසැල් වෙනුවට සියලු පාසැල් සපිරි පාසැල් බවට පත් කිරීමේ අරමුණ ඇතිව අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ උපදෙස් අනුව ක්‍රියාත්මක ළඟම පාසැල හොඳම පාසැල වැඩසටහන යටතේ බළපිටිය රේවත ජාතික පාසැලේ ඉදි කෙරුණු නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද (01) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වා දුන්නේ ජාතික පාසැල්වලට විදුහල්පතිවරුන්ගේ හිඟයක් ඇති බවට ඇතැම් වෘත්තීය සමිති කරනු ලබන ප්‍රකාශයන් පාසැල් ප්‍රජාව සහ ජනතාව නොමග යවන ප්‍රකාශයන් බවයි.

මේ වන විට ජාතික පාසැල්වල විදුහල්පතිවරුන් නොමැති බව ප්‍රකාශ කළ ද ශ්‍රේණිධාරීන් විදුහල්පතිවරුන් රාජකාරි ආවරණය කරන බවත් ඉදිරියේදී පුරප්පාඩු සහිත විදුහල්පති තනතුරු ගැසට් කරමින් පාසැල්වල විනය සහ ප්‍රථිපල ඉහළ නැංවීමට කටයුතු කළ සහ අධ්‍යාපන සුදුසුකම් සහිත විදුහල්පතිවරුන් ජ්‍යෙෂ්ඨත්වයට ද මුල් තැන ලබා දෙමින් පත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා පිළිගත් ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගෙන ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එහිදී සඳහන් කළා.

 

කෙසේ උවද උප ගුරුවරුන් 4000කට අධික ප්‍රමාණයක් දේශපාලන හිතවත්කම් මත වැඩබලන විදුහල්පතිවරුන් ලෙස පාසැල්වලට පත් කළ විට අදාල වෘත්තීය සමිති කුමක් සිදු කළේද යන්න පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්ණ කළා.

එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පසුගිය කාලයේ සිදු වූ බොහෝ අක්‍රමිකතා හමුවේ මුනිවත ආරක්ෂා කළ ඇතැම් කණ්ඩායම් අද අධ්‍යාපනයේ සාර්ථකත්වය හමුවේ තම ජනප්‍රියත්වය උදෙසා විවිද පදනම් විරහිත චෝදනා එල්ල කරන බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.