"ඉතිහාස විෂය, පාසල් විෂය මාලාවෙන් කිසිසේත් ඉවත් කරන්නේ නැහැ... පටු දේශපාලන අරමුණු මත පදනම්ව සිදුකරන අසත්‍ය ප්‍රකාශ පිලිකුලෙන් යුතුව හෙළා දකිනවා" - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

මුද්‍රණය

 

ඉතිහාස විෂය, පාසල් විෂය මාලාවෙන් ඉවත් කරන බවට පැතිර යන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍යය බවත්, එවන් කිසිදු තීරණයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන නොමැති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ, විවිධ පාර්ශව විසින් විවිධ පටු දේශපාලන අරමුණු මත පදනම්ව, මහා සංඝරත්නය පවා නොමග යවමින් සිදුකරන අසත්‍යය ප්‍රකාශ පිළිබඳව තමන් විෂයභාර අමාත්‍යවරයා ලෙස දැඩි ‍සේ කණගාටු වන අතර එම ප්‍රකාශ පිලිකුලෙන් යුතුව හෙළා දකින බවයි. 2018 ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ගුරුභවතුන් ඇගයීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කිනම් හෝ පාර්ශවයක් විසින් මෙම කරුණ සම්බන්ධයෙන් කිසියම් දේශපාලන කණ්ඩායමකට වාසිදායක මතයක් මාධ්‍යය තුළ ගොඩනැගීමට උත්සහ කරමින් සිටින බවයි. මෙවන් කරණු හරහා දේශපාලන ජයග්‍රහණ ලබාගැනීමට උත්සහ කරන බංකොලොත් දේශපාලඥයින්, සිය පටු දේශපාලන වාසි සඳහා දරුවන්ගේ අධ්‍යාපනය භාවිතා කිරීමට උත්සහ කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, මෙවන් දුර්වල ක්‍රියාමාර්ග හරහා වත්මන් රජයේත්, අධ්‍යාපන අමාත්‍යාංශයෙත් ඉදිරි ගමන කිසිසේත්ම වැළැක්විය නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියා.

අනාගත ලෝකයට ගැලපෙන පරිදි විෂය මාලා නවීකරණය කිරීමේ කර්තව්‍යය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කොට ඇති බවත්, එහි දී ඉතිහාසය, සාහිත්‍යය, භාෂාව, දේශීයත්වය සහ අපේ කම සුරැකීමේ අනිවාර්යය වගිකීම පෙරදැරි කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය එම කාර්යය ඉටු කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී වැඩි දුරටත් සඳහන් කළා. තවද, ඇතැම් විට ඉතිහාසය විෂයට වෙන් කෙරෙණ කාලපරිච්ඡේද ගණන ඉදිරියේ දී වැඩි කිරීමට ඉඩ ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් සේනානි හේවගේ යන මහත්වරුන් සහ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා.