නවතම පුවත්

රටක ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් සිදුකරන ආයෝජනයේ 'වැදගත් කම' අධ්‍යාපන අමාත්‍යතුමන් පෙන්වා දුන් අයුරු

රටක ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් සිදුකරන ආයෝජනය, අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන ආයෝජනය තරම්ම වැදගත් වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නීරෝගීමත් සිසු පරපුරක් බිහිකිරීම උදෙසා පාසල් පද්ධතිය තුළ ක්‍රීඩාව දියුණු කිරීම අතිශයින් වැදගත් වන බවයි.

කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී පැවති, 2018 සමස්ත ලංකා පාසල් සහය දිවීමේ සැණකෙලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

පාසල් අධ්‍යාපනය ලබන සෑම දරුවෙකුම පාසල තුළ කුමන හෝ ක්‍රීඩාවක නිරත විය යුතු බව අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් දරුවන් ක්‍රීඩාව වෙත නැඹුරු කරවීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ක්‍රීඩාව ජනප්‍රිය කරවීම තුළින් ශක්තිමත් මෙන්ම නිරෝගීමත් අනාගත පරපුරක් නිර්මාණය කර රට තිරසර සංවර්ධනය කරා ලඟ කරවිමේ ඉලක්ක සපුරාගැනීමට ද හැකි වන බවයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය, ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ශාඛාව මගින් සංවිධාන කරනු ලබන, 2018 සමස්ථ ලංකා සහය දිවීමේ සැණකෙළිය මේ මස 24,25 සහ 26 යන දිනයන් හී දී බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී පැවත්වීමට නියමිතයි.

 

 

 

Search