‘‘පසුගිය රජය යටතේ අධ්‍යාපන පද්ධතියේ සිදු වූ ඇතැම් දේ පිළිබඳ බරපතල ගැටළු තිබෙනවා’’ - ගුරු අධ්‍යාපනඥ සේවයේ III වන ශ්‍රේණියට නිලධාරීන් 353 ක් එක් කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි

මුද්‍රණය

පසුගිය රජය යටතේ අධ්‍යාපන පද්ධතියේ සිදු වූ ඇතැම් දේ පිළිබඳව බරපතල ගැටළු පවතින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ 1190 ක හිඟයක් සහිතව විද්‍යාපීඨ තුළ වසරකට ශික්ෂණලාභීන් 4000 ත්, 5000 ත් අතර සංඛ්‍යාවක් පුහුණු කර ඇති ආකාරය බරපතල ගැටළුවක් බවයි. ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III වන ශ්‍රේණිය සඳහා සීමිත පදනම මත පත්කෙරණු 353 කු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය නිමිත්තෙන් අද (20) අරලියගහ මන්දිරයේ දී පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

අමාත්‍යවරයා කියා සිටියේ, වර්තමානයේ දී අධ්‍යාපන පද්ධතිය වෙනුවෙන් සිදුකෙරෙමින් පවතින සියලු පත්කිරීම් දේශපාලනයෙන් තොරව, නිසි ක්‍රමවේදයකට අනුව සිදුකරන ලද පත්වීම් බවයි. රටේ සියලු දරුවන් සඳහා අධ්‍යාපනය ලබා දෙන ගුරුවරුන් පුහුණු කරවීමේ වගකීම ගුරු අධ්‍යාපනඥයින් සතු වන බවත්, එබැවින් ගුරු අධ්‍යාපනඥයින් සඳහා ගැඹුරු මෙන්ම පුළුල් සමාජ වගකීමක් පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එවක අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි අවධියේ දී එතුමන් විසින් මෙම විද්‍යාපීඨ සංකල්පය ආරම්භ කළ බවත්, එම යුගයෙන් පසුව ඒ සඳහා දිය යුතු ප්‍රමුඛතාව පසුගිය සමයේ දී ලබා දී නොමැති බවත් මෙහිදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා පැවසුවේ පසුගිය රජයන් යටතේ මෙන් අධ්‍යාපන පද්ධතිය සඳහා හුදෙක් දේශපාලන පත්වීම් සිදු නොකොට වර්තමානයේ දී විධිමත් සහ ක්‍රමවත් අයුරින් පත්වීම් සිදුකිරීම සම්බන්ධයෙන් සතුටු විය යුතු බවයි.

පුරවැසි යුතුකම්, සමාජ වගකීම් මෙන්ම සමාජීය විනය යන කරුණු ගිලිහෙමින් පවතින සමාජයක එම යුතුකම් සහ වගකීම් මෙන්ම සමාජ විනය ද හොඳින් දන්නා අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඇප කැප වී ක්‍රියා කරන ලෙස මෙම උත්සවයට එක් වූ කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළා.

2016 වර්ෂයේ පැවැති ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ iii ශ්‍රේණියට සීමිත පදනම මත බඳවා ගැනීම සඳහා පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව සුදුසුකම් ලද අයදුම්කරුවන් සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයේ සහ ප්‍රායෝගික පරීක්ෂණයේ ප්‍රතිඵල මත සිංහල මාධ්‍ය 223 දෙනෙකු සහ දෙමළ මාධ්‍ය 130 දෙනෙකු සඳහා අද පත්විම් ලිපි ප්‍රදානය කෙරුණා.

මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ආෂු මාරසිංහ, ඉම්රාන් මහරූෆ්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි සහ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා.