නවතම පුවත්

"දිවයිනේ පාසල් සඳහා භෞතික සම්පත් විශාල ප්‍රමාණයක් ලබා දුන් පළමු රජය මෙයයි " - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

අධ්‍යාපන පද්ධතියේ ඇතැම් ගැටලු සඳහා පසුගිය රජයන් විසින් ස්ථිරසාර විසඳුම් ලබා දී නොමැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, iii වන ශ්‍රේණියේ විදුහල්පතිවරුන් 116 දෙනෙකු ii වන ශ්‍රේණිය සඳහා උසස් කිරීම නිමිත්තෙන් අමාත්‍යාංශයේ දී පැවති උත්සවයකට එක්වෙමින්.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දශක ගණනක් තිස්සේ විවිධ පුද්ගලයින් විසින් රටේ අධ්‍යාපනය පිළිබඳව වගකීම දරමින් එම ක්ෂේත්‍රය පිළිබඳ විවිධ වාග් ප්‍රකාශ සිදුකළ ද, සිය පටු දේශපාලන ප්‍රතිපත්තීන් නිසා එම පද්ධතියට අදාළ ගැටලු සඳහා ස්ථිරසාර විසඳුම් ලබා දීමට පෙළඹී නොමැති බවයි.

වත්මන් රජයටද අධ්‍යාපන පද්ධතියට අදාළ සියලු ගැටලු එකවර විසඳීම අපහසු වූවද ගත වූ වසර කිහිපය තුළ දී පවා, පද්ධතිය දියුණු කිරීමට අදාළව ගත යුතු ක්‍රියාමාර්ග රැසක් එඩිතරව ගැනීමට තමන් කටයතු කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

දිවයිනේ පාසල් සඳහා මෙලෙස භෞතික සම්පත් විශාල ප්‍රමාණයක් ලබා දුන් පළමු රජය මෙය වන බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහි දී කියා සිටියා.

පසුගිය කාලවකවානූ තුළ දී පාසල් සංවර්ධනය සඳහා විදුහල්පතිවරුන්හට ආදී ශිෂ්‍ය සංගම් ඇතුළු විවිධ බාහිර පාර්ශවවල පිහිට පැතීමට සිදු වුව ද වර්තමානයේ දී එම තත්ත්වය වෙනස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

එමෙන්ම, කිනම් පාර්ශවයක් විසින් කිනම් චෝදනාවක් එල්ල කළ ද, වත්මන් රජය විසින් වැඩි වශයෙන්ම මුදල් වෙන් කර ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයට බවත්, පසුගිය රජයන් සමයේ දී මුලු රටටම වෙන් කරන ලද ප්‍රාග්ධන වියදම වත්මන් රජය යටතේ එක් පළාතකට පමණක් අධ්‍යාපනය සඳහා වෙන් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන සහ අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

 

 

Search