නවතම පුවත්

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට සූදානම්

කිසිදු සේවකයකු ඉවත් නොකර කිසිවකුට විශේෂත්වයක් නොදක්වා කඩාවැටී ඇති රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට තමා සූදානම් බවත් ඒ සදහා ආයතනයේ සේවකයින් ද වංචා දූෂණ හා කොමිස්වලින් තොරව තම රැකියාව සහ ආයතනය ගැන අවංක හැඟීමෙන් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා.

විෂයභාර අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගිය දා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ ආයතන පරිශ්‍රයේ නිරීක්ෂණයෙන් පසුව පැවති සේවක හමුවට එක්වෙමින්.

වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය පථයට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ඇතුළත් කරන විට එහි සේවක වැටුප් ගෙවීමට පවා නොහැකි තත්වයක් සමග බරපතල කඩාවැටීමකට ලක් වී තිබුණු බවයි. මෙම තත්වය මත අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රු.මිලියන 88 ක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

පසුගිය සමයේ දුර්වල කළමනාකරණය හා දූෂණ හේතුවෙන් කඩාවැටීමට ලක් වූ ආයතන විධිමත් කර ලාබ ලබන ආයතන බවට පත්කිරීමට හැකි වූ බවත් විශේෂයෙන් කඩාවැටී තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදල ද අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය පථයට අයත් වූ පසු ලාබ ලබන ආයතනයක් බවට පත් කළ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

වංචා දූෂණ හා අක්‍රමිකතාවලට එරෙහිව තමා ආදර්ශයෙන් කටයුතු කරන බව සඳහන් කළ අමාත්‍යවරයා තමා යටතේ ඇති කිසිදු ආයතනයක ඉහල සිට පහලට කිසිදු සේවකයකුට වංචා දූෂණ හා අක්‍රමිකතා සිදු කිරීමට ඉඩ නොතබන බව ද අවධාරණය කළා.


එසේම ක්ෂේත්‍රය සම්බන්ධව තමන් සතු අවබෝධය ද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මුහුණ දී ඇති අර්බුදය විසදීමට ඉවහල් කරගන්නා බව පවසා සිටි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂ බේදයකින් තොරව සියලු සේවකයින් ආත්මාර්ථකාමී නොවී තමා සේවය කරන ආයතනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප විය යුතු බව ද පෙන්වා දුන්නා.

මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, අධ්‍යාපන රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාන මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද එක් වී සිටියා.

 

Search