නවතම පුවත්

කුරුණෑගල ඉදි කළ අති නවීන පහසුකම්වලින් සමන්විත නව ජාතික පාසල එළඹෙන වසරේ සිසු අයිතියට

කුරුණෑගල නගරය ආශ්‍රිතව පවතින අධික සිසු ගහණයට විසඳුමක් ලෙස නගරය ආශ්‍රිතව අති නවීන පහසුකම්වලින් සමන්විත නව ජාතික පාසල් දෙකක් ඉදිකිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම අනුව සැලසුම් කළ බවත් ඒ අතරින් පළමුවැන්න එළඹෙන වසර ආරම්භයේ දී සිසු අයිතියට පත්කිරීමට හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.

 

ඊයේ (26) කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ සහ විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

 

නගරය ආශ්‍රිතව පිහිටා තිබුණ ද සිසු දරුවන්ට ඉගෙනගැනීමට ප්‍රමාණවත් පරිදි පන්ති කාමර පහසුකම් නොමැතිව තිබූ මලියදේව බාලිකා විදුහල මෙන් ම දිවයින පුරා සියලුම පාසල්වල පහසුකම් ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මේ වන විටත් පාසල් 9,000 කට අධික ප්‍රමාණයක සංවර්ධන කටයුතු සිදු කරමින් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

 

සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හඳුන්වා දී ඇති සුරක්ෂා රක්ෂණාවරණය යටතේ සෑම සිසු දරුවකුටම රුපියල් ලක්ෂ දෙකක නොමිලේ රක්ෂණාවරණයක් ලබා දී ඇති බව ද සිහිපත් කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මීට අමතරව විධිමත් ක්‍රමවේද අනුව නවක විදුහල්පතිවරුන් බඳවාගැනීමටත් අධ්‍යාපන පරිපාලන සේවයේ පැවති පුරප්පාඩු සම්පූර්ණ කිරීමටත් ගුරු අධ්‍යාපනඥයින් බඳවාගැනීමටත් විෂයමාලාව මෙන් ම විභාග ක්‍රමය නවීකරණය කිරීමටත් පියවර ගත් බව ද පැවසුවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ මෙම උත්සව අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක් ව සිටියා.

 

Search