මැලේසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික තරුණ විද්‍යාඥයා තරගාවලියට  ශ්‍රී ලංකාවෙන් සිසුන් සිවු දෙනෙක්...

මුද්‍රණය

 

 ජපානයේ සකුරා විද්‍යා වැඩසටහනට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන්  දහදෙනෙක්..

 සහභාගී වන සියලු සිසුන් වෙත අධ්‍යාපන ඇමති අතින් ගුවන් ටිකට්පත්

 

රුසියාව, ජර්මනිය, චීනය, නෙදර්ලන්තය ප්‍රමුඛ රටවල් 35ක පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් 26 වැනි වරටත් පැවැත්වෙන අන්තර් ජාතික තරුණ විද්‍යාඥයා තරගාවලිය මෙවර මැලේසියාවේ ක්වාලාලම්පූර්හි දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

2019 අප්‍රේල් 19-25 දිනයන්හි දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් සිව්දෙනෙකු සහභාගී වීමට නියමිතයි. මේ සඳහා  සිසුන් තෝරාගෙන ඇත්තේ, පාසල්, කලාප, පළාත් සහ ජාතික මට්ටමින් විද්‍යාත්මක පර්යේෂණ පත්‍ර හා ඒවායේ ඉදිරිපත්කිරීම් විශිෂ්ට ලෙස ඉදිරිපත් කරන ලද ද්විතීයික ශ්‍රේණිවල සිසුන් අතරිනුයි.

පාසල්, අධ්‍යාපන කලාප, පළාත් සහ ජාතික මට්ටමින් විද්‍යාත්මක පර්යේෂණ පත්‍ර හා ඉදිරිපත්කිරීම් සිදුකර  ඒ සඳහා ඉහළ ම සාධනයක් පෙන්වූ ද්විතීයික පාසල් සිසුන් මෙම වැඩසටහන සඳහා තෝරාගෙන තිබෙනවා. විද්‍යා පර්යේෂණ සම්බන්ධ ව තම අධ්‍යාපන කලාපය තුළ විශේෂ වැඩසටහන් රැසක් ඉදිරිපත් කර ඇති හඟුරන්කෙත අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා සන්දර්ශිකා බණ්ඩාර මහත්මිය මෙම දරුවන් භාරව යන නිලධාරිනිය ලෙස කටයුතු කරනවා. 

 ජපානයේ විද්‍යා හා තාක්ෂණ ආයතනය මඟින් වසරක් පාසා පවත්වන සකුරා විද්‍යා වැඩසටහනට විද්‍යා විෂය ක්ෂේත්‍රයෙහි විශිෂ්ට  දක්ෂතා දැක්වූ දරුවන් වෙත අවස්ථාව ලබාදීමට ජපානය එකඟ වී තිබෙනවා. ඒ අනුව 2018 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විද්‍යා විෂය ධාරාවෙන් විශිෂ්ට දක්ෂතා පෙන්වූ සිසුන් අතරින් සම්මුඛ පරීක්ෂණයක් මඟින් තෝරාගත් සිසුන් 10 දෙනෙක් සකුරා විද්‍යා වැඩසටහනට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවීමට නියමිතයි. මේ සඳහා සිසුන් තෝරාගැනීමේ දී, උසස් පෙළ විද්‍යා විෂය  දක්ෂතා මෙන්ම, ජාතික හා ජාත්‍යන්තර විද්‍යා/ගණිත ඔලිම්පියාඩ් තරග ජයග්‍රහණ, පර්යේෂණ, නව නිපැයුම්, ක්‍රීඩා සහ විෂය සමගාමී අනෙකුත් දක්ෂතා කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා. විද්‍යා විෂය ධාරාව කෙරෙහි දරුවන් වැඩිදුරටත් නැඹුරු කරවීමත්, ඒ කෙරෙහි දිරිගැන්වීමත්, නවීන විද්‍යාවේ සොයාගැනීම් සහ ඒ පිළිබඳ අත්දැකීම් ලබාදීමත් අරමුණු කරගනිමින් පවත්වන මෙම වැඩසටහන අප්‍රේල් 14 දින සිට අප්‍රේල් 20 තෙක් ජපානයේ ටෝකියෝහි දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, අන්තර් ජාතික තරුණ විද්‍යාඥයා තරගාවලියට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත්ව යන සිසු දරුවන් සිව්දෙනා සහ ඔවුන්ගේ භාරකාර නිලධාරිනියටත්, ජපානයේ ටෝකියෝහි පැවත්වෙන සකුරා විද්‍යා වැඩසටහනට සහභාගී වන සිසුදරුවන් 10 දෙනා සහ ඔවුන්ගේ භාරකරුවන් දෙදෙනාටත් අදාළ ගුවන් ටිකට් පත් ප්‍රදානය ඊයේ(02)  අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා.  ඒ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම්තුමන් සහ අධ්‍යාපන රාජ්‍ය ලේකම්තුමන් ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා.

ගුවන් ටිකට් පත් ප්‍රදානය අවසානයේ ගුවන් ටිකට් පත් ලබාගත් සියලු සිසුදරුවන් සමඟ සුහද පිළිසඳරකට සහ ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිස එක්වුණා.

</div