දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනයෙන් පසු සිසුන්ට උසස් පෙළ හා NVQ සහතික දෙකක් පිරිනමනවා...

මුද්‍රණය

රැකියා ලෝකයට ගැලපෙන වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය අවසන් කරන සිසු දරුවන්ට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහතිකයට අමතරව ජාත්‍යන්තරව පිළිගන්නා NVQ සහතිකය ද  පිරිනමන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළා.

පාසල් අධ්‍යාපනයෙන් පසු වැඩ ලෝකයට පිවිසෙන දරුවාට, මෙම අධ්‍යාපන සහතික හිමිකරුවකු වන බැවින් රැකියා අපේක්ෂා කිරීමේ දී කිසිදු අඩුපාඩුවක් නොවන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

කොළඔ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (04) සවස පැවැති 2017 පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවය අමතමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා.

මේ වනවිට තෝරාගෙන සිටින ක්‍රීඩා පුහුණුකරුවන් 3850 දෙනාටම මැයි මාසයේ දි පත්වීම් ලබා දී මනා පුහුණුවකින් පසු පාසල්වලට පත්කරන බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

ක්‍රීඩා දස්කම්, හැකියා දක්වන දරුවන් 1000කට සුබග ශිෂ්‍යත්ව අරමුදල මගින් මාසිකව රුපියල් 2500/- ක දීමනාවක් ලබා දීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට යොමු කර ක්‍රියාත්මක වෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටිය දී ආරම්භ කරන ලද ජාතික පාසල් ක්‍රීඩා තරඟාවලිය නිසා ගම් දනව්හි සිසු සිසුවියන්ට සිය දස්කම්, හැකියා අනුව ඉදිරියට පැමිණීමේ අවස්ථාව හිමි වූ බව ද එමගින් ක්‍රීඩාවට විශාල නැඹුරුවක් ලැබෙන බව ද අමාත්‍යවරයා පැවසුවා.

කායික හා මානසික සමබර පෞරුෂයක් වෙනුවෙන් හැම දරුවෙකුම කුමන හෝ ක්‍රීඩාවක නියැලිය යුතු බවට 2015 දී චක්‍ර ලේඛයක් නිකුත් කළ බවත් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනය පමණක් නොව කායික හා මානසික සෞ‍ඛ්‍යයෙන් පිරිපුන් සමබර පෞරුෂයක් ගොඩනඟා ගැනිමට ක්‍රීඩාවෙන් හැකිබව තව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

සියලු දෙනා එක්ව ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කරනවා නම් එය පාසල් පද්ධතියට කරන උපකාරයක් බවත් අමාත්‍යවරයා සදහන් කළා.

ක්‍රීඩා පාසල්හි දියුණුවට ප්‍රතිපාදන වෙන්කළ බව ද ළඟම පාසල හොඳම පාසල වැඩ සටහන යටතේ ගෘහස්ථ ක්‍රීඩාගාර, ක්‍රීඩා පිට්ටනි ඇතුලු පහසුකම් වෙනුවෙන් ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් වෙන් කරන ලද බවත් අමාත්‍යවරයා එහි දී සඳහන් කළා.

ක්‍රීඩාවේ නියැලෙන දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමහර අවස්ථාවල දී චක්‍රලේඛ පවා වෙනස් කරමින් ඇතැම් තීරණ ගැනීමට ක්‍රියා කළේ ක්‍රිඩාවෙහි වැදගත්කම දරුවන්ට කියාපෑමට බව ද තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය සම්බන්ධයෙන් සිහිපත් කළ අමාත්‍යවරයා ලබන වසර වනවිට රටේ හැම දරුවකුටම අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වුවත් අසමත් වුවත් බාධාවකින් තොරව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව හිමිවන බවත් පෙන්වා දුන්නා.

විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන උසස් පෙළ සහතිකය පමණක් නොව NVQ සහතිකයද එම සිසුනට පිරිනමන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. වැඩ ලෝකයට හා ප්‍රායෝගික ලෝකයට ගැලපෙන පරිදි සකස් කරන ලද දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනයෙන් පසු රැකියාවකට යාම සඳහා කිසි අඩුවක් සිදු නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ක්‍රීඩාවෙන් ඉදිරියට යා හැකිනම් විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන වලට පිවිස අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථා හිමිවන බව ද අමාත්‍යවරයා සදහන් කළා.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සභාව මෙම උත්සවය සංවිධානය කළා.