මින් ඉදිරියට ශිෂ්‍යත්වයට පෙනී සිටීම අනිවාර්ය නැහැ

මුද්‍රණය

මින් ඉදිරියට ශිෂ්‍යත්වයට පෙනී සිටීම අනිවාර්ය නැහැ , චක්‍රලේඛය නිකුත් කළා' - අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

මින් ඉදිරියට දරුවන් 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම අනිවාර්ය නොවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

නියමිත ආදායම් සීමාවට වඩා අඩු ආදායම්ලාභී පවුල්වල ඉගෙනීමට දක්ෂ දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම සඳහාත්, පාසල් වල 6 ශ්‍රේණියට සිසුන් තෝරා ගැනීම සඳහාත් පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පරීක්ෂණයක් වශයෙන් වාර්ෂිකව පවත්වනු ලබනවා.

කෙසේ වෙතත් වර්තමානය වන විට එම මූලික අරමුණෙන් බැහැර වෙමින් ශිෂ්‍යත්ව විභාගය හරහා ශිෂ්‍ය විවිධත්වය සහ බුද්ධි වර්ධනයේ විෂමතාවන් නොසලකා හරිමින් කුඩා දරුවන්ගේ මනසට අහිතකර බලපෑම් ඇති කරවන අයුරින් කෘතීම සහ අනවශ්‍ය තරගකාරී බවක් නිර්මාණය කර තිබෙන බව ළමා මනෝ වෛද්‍ය විශේෂඥවරුන්ගේ සහ අධ්‍යාපනඥයින්ගේ මතය වී තිබෙනවා.

බොහෝ අවස්ථාවලදී අඩු ආදායම්ලාභී ශිෂ්‍යාධාර ලබා ගත යුතු පවුල්වල දරුවන්ටත් වඩා ප්‍රධාන ජාතික පාසල්වල සිසුන්, ශිෂත්ව විභාගය සම්බන්ධයෙන් විශාල පීඩනයකට හසුවන බවයි, ඔවුන්ගේ මතය වී තිබෙන්නේ.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් මින් ඉදිරියට ශිෂ්‍යාධාර සඳහා හිමිකම් ලබන ආදායම් සීමාවට අයත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් හැර අනෙකුත් සියලු ම සිසුන් එම පරීක්ෂණයට ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බවත් ඒ සඳහා කිසිදු අයුරකින් සිසුන්ට බලපෑම් නොකළ යුතු බවත් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද 08/2019 චක්‍රලේඛයෙහි දක්වා තිබෙනවා.

ඒ අනුව සිසුන්ට තම අභිමතය පරිදී මව්පියන්ගේ ද කැමැත්ත මත විභාගයට පෙනී සිටිනවාද නැද්ද යන්න තීරණය කළ හැකිවනු ඇත.

යම් අවස්ථාවකදී 5 ශ්‍රේණියෙන් අවසන් වන ප්‍රාථමික පාසලක සිසුවෙකු ශිෂ්‍යත්ව විභාගයට පෙනී නොසිටි අවස්ථාවක දී ඔවුන් සඳහා ප්‍රදේශයේ පාසලක් ලබා දීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත පවරා තිබෙනවා.

අනවශ්‍ය ප්‍රවර්ධනය මගින් දරුවන් මුහුණ දෙන පීඩාවන්ට තිත ..

මීට අමතරව පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පදනම් කරගනිමින් තරගකාරීත්වය ප්‍රවර්ධනය වන අයුරින් පෝස්ටර් බැනර් වැනි ප්‍රචාරක කටයුතු නොකළ යුතු බවද මෙම චක්‍ර ලේඛයෙන් අවධාරණය කර තිබෙනවා.

අදාළ තීරණය ගෙන තිබෙන්නේ සමත් සහ අසමත් ලෙස දරුවන් වෙන් කරමින් නිර්මාණය වන බෙදීම තුළ කුඩා දරුවන් විශාල වශයෙන් මානසික අර්බුදයන්ට ලක් වන බව සහ ඔවුන්ගේ මානවීය ගුණාංග සංවර්ධනය සඳහා ද එය අහිතකර වන බවට ශිෂ්‍යත්ව සමාලෝචන කමිටුව හරහා ඉදිරිපත් කර තිබූ නිර්දේශ ද සැලකිල්ලට ගනිමින්.

6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී අයථා මුදල් එක්රැස් කිරීමත් තහනම්..

පාසල්වල 6 ශ්‍රේණි සිසුන් ඇතුළත් කිරීමේ දී අදාල චක්‍රලේඛ උපදෙස් පරිදි පහසුකම් හා සේවා ගාස්තු පාසල් සංවර්ධන සමිති ගාස්තු වැනි අනුමත ගාස්තු හැර වෙනත් ආධාර මුදල් අය කිරීම හෝ වෙනත් පරිත්‍යාගයක් ලබා ගැනීම සපුරා තහනම් බව ද මෙම චක්‍රලේඛය මගින් දක්වා තිබෙනවා.

ඒ ඇතැම් පාසල්වල 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී පැමිණෙන දරුවන්ගේ මාපියන්ගෙන් අයථා ලෙස මුදල් රැස් කරන බවට ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින්.

ශිෂ්‍යත්ව විභාගයේ දී දරුවන්ට ඇතිවන අනවශ්‍ය පීඩනය සම්බන්ධයෙන් ⁣විශේෂ අවධානය යොමුකරමින් ශිෂ්‍යත්ව විභාගය නැවත සමාලෝචනය කර, ඒ සඳහා සුදුසු විකල්ප යෝජනා ලබා ගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පත් කරන ලද ශිෂ්‍යත්ව විභාග සමාලෝචන කමිටුවේ නිර්දේශ මත මෙම තීරණවලට එළඹීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් විභාගය අහෝසි කිරීම පිළිබඳ අවසන් තීරණයකට එම කමිටුව මෙතෙක් එළඹ නැහැ.