නවතම පුවත්

 ශ්‍රී ලංකාවේ සියලු ම පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැංවෙන සුරක්ෂා රක්ෂණාවරණ යටතේ මේ වනවිට (2018-12-01 සිට 2019-07-29 දින වනවිට) රුපියල් මිලියන 777ක (රුපියල් 777,450,867 /-ක ) ප්‍රතිලාභ ලබාදී තිබේ. ගෙවී ගිය කාලය තුළ රක්ෂණ හිමිකම් වෙනුවෙන් ලැබී ඇති  ඉල්ලීම්  සංඛ්‍යාව 17,308 කි.

ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ සියලු ම පාසල් දරුවන් එකවර රක්ෂණය කරමින් නොමිලේ ලබාදෙන මෙම සිසු රක්ෂණාවරණය මගින් දරුවන්ගේ රෝගාබාධ, හදිසි අනතුරු හා විපත් හමුවේ දෙමව්පියන්ටත්, දෙමව්පියන් අහිමිවීමක දී දරුවන්ටත් දරන්නට වන ආර්ථික පිරිවැය රජය විසින් පවරාගෙන සිටින අතර, දිවයින පුරා විසිර සිටින, විවිධ ආර්ථික මට්ටම්වල පසුවන ඕනෑම මව්පියෙකුට දරුවන්ගේ අසනීප තත්වයන් හමුවේ දෙවරක් නොසිතා අවශ්‍ය පූර්ණ ප්‍රතිකාර වෙත යොමුවන්නට ද මේ හරහා ඉඩප්‍රස්ථා සලසා තිබේ.


රජයේ සියලු පාසල් හා පිරිවෙන්වල සහ ද පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල අවුරුදු 5-21 වයස් සීමාවේ පසුවන, මිලියන 4.5කට ආසන්න සියලු සිසුන් සුරක්ෂා රක්ෂණයට හිමිකම් කියන අතර, මෙම රක්ෂණ හිමිකම යටතේ රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් 200,000/-ක් ද, බාහිර ප්‍රතිකාර සඳහා රු 20,000/-ක් ද, අසාධ්‍ය රෝග ප්‍රතිකාර  සඳහා රුපියල් 200,000 සිට අවශ්‍යතාව අනුව ඒ සඳහා වැයවන මුලු මුදල ද, පූර්ණ අකර්මණ්‍යතාවක දී රු 200,000ක් ද, අර්ධ අකර්මණ්‍යතාවක දී 150,000/- සිට රු 200,000/-ක් දක්වා ද මව්පිය වියෝවක දී එක් අයෙකුට රු 200,000/ බැගින් දෙදෙනාටම ආවරණය ද, (පවුලේ සියලු දරුවන් සඳහා වෙන් වෙන් ව) ශිෂ්‍ය වියෝවක දී රු150,000/- ක මුදලක් ද ප්‍රතිලාභ ලෙස පිරිනැමේ. 


අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස්  අනුව, මෙවර සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ වැඩිකිරීමට ද සුවිශේෂී පියවර කිහිපයක් ගෙන ඇත. රජයේ රෝහල්ගතවන දිනකට ගෙවන මුදල රුපියල් 1000/- සිට රුපියල් 3000/- තෙක් වැඩිකිරීම, බාහිර ප්‍රතිකාර යටතේ ශ්‍රව්‍ය-දෘශ්‍ය උපකරණ, ඇස් කන්නාඩි වැනි උපකරණ ලබාගැනීමේ හැකියාව,විශේෂඥ වෛද්‍ය සේවා ගාස්තු ලබා ගැනීමට හැකියාව, මුදල් ගෙවීමකින් තොරව රෝහල්ගතවීමේ හැකියාව සහ රුපියල් 200000 ඉක්මවන විට අමතරව වැඩිවන මුදල පමණක් දැරීමට අවස්ථාව, අසාධ්‍ය රෝග ආවරණය, රෝහල්ගතවීමට පෙර දින 7ක් සඳහා සහ රෝහලෙන් පිට වූ පසු දින 14ක් දක්වා බෙහෙත් ලබාගැනීමේ හැකියාව ද ලබා දීම  ඒ අතර ප්‍රමුඛ වේ.


දෙමාපිය වියෝවක දී හදිසි අනතුරු මරණ සඳහා පමණක් ලබාදුන් රක්ෂණ ප්‍රතිලාභය ස්වභාවික මරණ හදිසි අනතුරු මරණ යන සියල්ල ආවරණය කරමින් ලබාදීම, (සියදිවි නසාගැනීම් වැනි නීතිවිරෝධී මරණ හැර) මානසික ආබාධ, පෝෂණ ගැටළු යන අවස්ථාවන් ද ආවරණය කිරීම ද මෙවර සුරක්ෂා රක්ෂණාවරණයේ විශේෂත්වයකි.

එමෙන් ම වෙනත් රක්ෂණ ආවරණයක් යටතේ ජීවිත රක්ෂණයක් ලබා සිටිය ද, සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභය ද ලබාගැනීමට අවකාශ සලසා තිබේ. මීට අමතර ව රෝහල්ගතවීමක දී ලක්ෂ දෙකක සීමාව ඉක්මවා සිදුකෙරෙන බිල්පත් පියවීමක දී සුරක්ෂා ප්‍රතිලාභ හිමිකම ලබාගනිමින් ඉතිරි මුදල අනෙකුත් රක්ෂණ හිමිකමක් වේ නම් එමගින් පියවා ගැනීමට අවස්ථාව සලසා ගත හැකිය.

මේ වනවිට සුරක්ෂා රක්ෂණ හිමියන් වෙනුවෙන් සෘජු ප්‍රතිලාභ ලබාදීමට එකඟත්වය පළ කර ඇති ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහල් 62ක, ඇතුළත්වීමේ ගාස්තු ගෙවීමකින් ද තොරව නේවාසික ප්‍රතිකාර ගැනීමට අවස්ථාව සලසා ඇති අතර, මෙහි දී කළ යුතු වන්නේ අදාළ රෝහල් කළමනාකාරීත්වය හරහා  සුරක්ෂා රක්ෂණ ආයතනය වෙත දැනුම් දීමක් සිදුකිරීමයි.

සුරක්ෂා හිමිකම ලබන සියලු පාසල් සිසුන් වෙත සුරක්ෂා රක්ෂණ කාඩ්පත ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇති අතර, එම කාඩ්පත නොමැති ව වුව ද  මෙම රක්ෂණ ප්‍රතිලාභ සඳහා අයදුම් කළ හැකිය.


සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රතිලාභ සඳහා අයදුම් කිරීමේ දී කළ යුතු වන්නේ,  0112369369  අංකයට හෝ 0113641555 අංකය ඇමතීම හෝ අලියාන්ස් ඉන්ෂුරන්ස් ආයතනයේ ශාඛාවකින් හෝ කලාප අධ්‍යාපන කාර්යාලයකින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීමයි.

 
මේ සම්බන්ධ ව වැඩිදුර තොරතුරු www.moe.gov.lk   අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් හෝ, පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල ලිපිනයෙන් හෝ, කළමනාකරු, සුරක්ෂා රක්ෂණාවරණය, අලියාන්ස් ඉන්ෂුරන්ස් ලංකා ලිමිටඩ් ආයතනය, නො 46/10, නවම් මාවත, කොළඔ 02 ලිපිනයෙන්  ද ලබාගත හැකියි.

 

බඳවා ගැනීමට අදාළ ලිඛිත පරීක්ෂණ, සම්මුඛ පරීක්ෂණ මේ වනවිටත් අවසන්

 

ශිෂ්‍ය උපදේශනය පාසල් මට්ටමින් සක්‍රීය ව පවත්වාගෙන යාම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින් ඒ වෙනුවෙන් අධ්‍යාපන පද්ධතිය වෙත විෂය සුදුසුකම් සහිත උපාධිධාරීන්ගෙන් නවක ගුරුවරුන් බඳවාගැනීමට අවශ්‍ය විධිවිධාන යොදන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ලේකම්වරයා වෙත ලබා දී ඇති උපදෙස් අනුව, පසුගිය වසරේ නොවැම්බර් 25 වැනි දින අදාළ බඳවාගැනීම් සඳහා වන තරග විභාගය පවත්වන ලදී.

 

ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව, ගුරු සේවයේ 3-1 ( අ) ශ්‍රේණියට අදාළ ව මෙම ශිෂ්‍ය උපදේශන ගුරුවරුන් බඳවාගැනීමට කටයුතු සම්පාදනය කරන ලද අතර,  ජාතික පාසල් සහ සියලු පළාත් පාසල්වල පවත්නා පුරප්පාඩු සඳහා අදාළ බඳවාගැනීම් සිදුකිරීමට තීරණය කොට තිබිණි. 

 

          එහෙත් මේ සඳහා පළාත් පාසල්වලට අදාළ බඳවාගැනීම් සිදුකිරීමට එකඟතාව පළ කරන ලද්දේ සබරගමුව හා වයඹ පළාත් පමණි. ඒ අනුව මේ සදහා පැවති තරග විභාගයෙන් සමත් වූ අයදුම්කරුවන් අතරින් අදාළ පළාත් සහ ජාතික පාසල්වල පවත්නා පුරප්පාඩු සඳහා,  සම්මුඛ පරීක්ෂණයෙන් සහ ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත්වන අයදුම්කරුවන් අතරින් අදාළ බඳවාගැනීම් ඉදිරියේ දී  සිදුකෙරේ.

 

ජාතික පාසල් සඳහා පවත්නා පුරප්පාඩු 232 ක් (සිංහල මාධ්‍ය 184ක් සහ දෙමළ මාධ්‍ය 48ක්) මෙන් ම, වයඹ පළාතේ පුරප්පාඩු 341ක් (සිංහල මාධ්‍ය 274ක් සහ දෙමළ මාධ්‍ය 67ක්) වෙනුවෙන් ද, සබරගමුව පළාතේ පුරප්පාඩු 235ක් (සිංහල මාධ්‍ය 182ක් සහ දෙමළ මාධ්‍ය 53ක්) වෙනුවෙන් ද මෙම බඳවාගැනීම් සිදුකෙරෙන අතර, ලිඛිත පරීක්ෂණය සමත් වූවන්ගෙන් පුරප්පාඩු සංඛ්‍යාව මෙන්  පස්ගුණයක් සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබන අතර, ඉන් සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පුරප්පාඩු සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් ප්‍රායෝගික පරික්ෂණය වෙත කැඳවනු ලැබේ.

 

ඒ අනුව මෙම බඳවාගැනීම්වලට අදාළ ව සම්මුඛ පරීක්ෂණ කටයුතු 2019-05-31 සිට 2019-06-10 තෙක් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පවත්වන ලදී. ලිඛිත පරීක්ෂණයෙන් සමත් හා ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත් අයදුම්කරුවන් වෙත ඔවුන් ලබාගත් ලකුණුවල එකතුව අනුව, කුසලතා අනුපිළිවෙළ තීරණය කර අදාළ  පත්වීම් ලබාදීමට නියමිතයි.

ජාතික පාසල්වල තාක්ෂණ පීඨ සේවක තනතුරුධාරීන්ට වාරාන්තර නිවාඩුකාලවල දී පාසල් රාජකාරීවලට බාධා නොවන අයුරින් නිවාඩු ලබාදීමේ අභ්‍යන්තර වැඩපිළිවෙළක් සකස් කරදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව,  අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ මහතා විසින් ජාතික පාසල්වල තාක්ෂණ පීඨ සේවක තනතුරුධාරීන්ට වාරාන්තර නිවාඩු අනුමත කිරීමේ බලය විදුහල්පතිවරුන් වෙත පවරා එහිදී  කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධ ව  ලිඛිත ව උපදෙස් ලබා දී ඇත. අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරන්නේ, සේවා අවශ්‍යතාව මත ඕනෑම අවස්ථාවක සේවයට කැඳවීමේ හැකියාව මත මෙම තනතුරුධාරීන් වෙත අදාළ නිවාඩු අනුමත කිරීමට කටයුතු කරන ලෙසයි.

වාරාන්තර නිවාඩු කාලවල දී තාක්ෂණපීඨවල ශිෂ්‍යයින්ට අදාළ පරීක්ෂණ කටයුතු නොකෙරෙන බැවින්, පාසලේ රාජකාරිවලට බාධාවක් නොවන පරිදි අභ්‍යන්තර වැඩපිළිවෙළක් සකස් කරගැනීමෙන් පසු විදුහල්පතිවරයාට තම අභිමතය පරිදි මෙම තනතුරුධාරීන් වෙත නිවාඩු අනුමත කළ හැකි බව ද අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරයි.

 අ.පො.ස. (උ.පෙළ) තාක්ෂණ විෂය ධාරාව ක්‍රියාත්මක පාසල් සඳහා රොබෝ තාක්ෂණ උපකරණ කට්ටල බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පෙන්වාදුන් කරුණු

 

පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රට තුළ ස්ථාපිත කිරීම සඳහා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට හඳුන්වාදෙන ලද විශාලතම ව්‍යාපෘතිය වන ‘ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහන ක්‍රියාත්මක ව තිබියදීත් පහසුකම් රහිත ව, විවිධ දුෂ්කරතා මධ්‍යයෙහි කිසිදු පාසලක් පවත්වාගෙන යාමට ඉඩ නොතැබිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.

ළඟම පාසල-හොඳම පාසල සංවර්ධන වැඩසටහන මඟින් පාසල්වල භෞතික හා යටිතල පහසුකම් මෙන් ම මානව සම්පත් සංවර්ධනය කිරීමට අවශ්‍ය පාසල් සමීක්ෂණය 2015 වසරේ දී සිදුකරනු ලැබූ අතර, ඒ සඳහා සියලු ම අධ්‍යාපන කලාපවල සංවර්ධන හා සැලසුම් අධ්‍යක්ෂවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයට කැඳවා පාසල් තෝරාගැනීමට අදාළ නිර්ණායක හා උපදෙස් ලබාදෙන ලදී. ඒ අනුව, ඔවුන් විසින් තෝරාදුන් පාසල් ‘ළඟම පාසල-හොඳම පාසල’ වැඩසටහනට ඇතුළත් කර මේ වනවිට සංවර්ධන කටයුතු සිදුකරමින් පවතී.

එහෙත් සංවර්ධනය කළ යුතු පාසල් හඳුනාගැනීමේ සමීක්ෂණය සිදුකර දැනට වසර පහක (5) පමණ කාලයක් ගත ව ඇති බැවින් එවකට සංවර්ධන අවශ්‍යතා නොපැවතිය ද, මේ වනවිට එවන් අවශ්‍යතා මතුව ඇති පාසල් නැවතත් හඳුනාගත යුතුව ඇත. ඒ අනුව ඉදිරියේ දී ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ එම පාසල් ද සංවර්ධන කිරීමට පියවර ගැනීම සඳහා අදාළ පාසල් සම්බන්ධ තොරතුරු තමා වෙත වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මේ වනවිට ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි පාසල් 9065ක, රුපියල් මිලියන 65000 ක මූල්‍ය ආයෝජනයකින් සංවර්ධන ව්‍යාපෘති 18000 ක් පාදක ව සංවර්ධනය කාර්යයන් සිදුකෙරේ. ඒ අතරින් වැඩ අවසන් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 12000ක් වන අතර, නව ගොඩනැගිලි 900ක් මේ වනවිට ඉදිකිරීම් අවසන් කොට සිසු අයිතියට පත්කර ඇත.

වෙනස්වන ලෝකයට අලුත් දැනුම සමඟ යා යුතු බවත්, ඒ වෙනුවෙන් පහසුවෙන් සහාය කරගත හැකි, වේගයෙන් නව දැනුම ලබාදීමට සමත් ඩිජිටල් ගුරුවරයෙක් ළඟදීම පාසල් දරුවන්ට ලබාදීමට සියලු කටයුතු සූදානම් ව පවතින බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, 'ළඟම පාසල හොඳම පාසල ' සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල, ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් නාපොකුණ කනිෂ්ඨ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පාසල් දරුවන්ට නව ලොව නව දැනුම සමඟ එක්වීමට ඩිජිටල් තාක්ෂණයේ සහාය ලබා දීම පිණිස නොමිළේ ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධ යෝජනාව 11 වරක්  කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන්නට සිදු වූ බව ද, කෙසේ හෝ එම විප්ලවීය තීන්දුව මෙරට පාසල් අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දෙන්නට අවසානයේ අතිගරු ජනාධිපතිතුමාගේත්, ගරු අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයේත් අනුමැතිය ලබාගැනීමට හැකි වූ බව ද අමාත්‍යවරයා සිහිපත් කළේ ය. ඒ අනුව සියලු ම ජාතික පාසල්වල උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙනුවෙන් ටැබ් ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ එළඹෙන අගෝස්තු මාසයේ දී ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ද ඉදිරි මාස කිහිපය තුළ සියලු ම උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් වෙත ද ඉන් අනතුරුව මෙම පහසුකම සමස්ත පාසල් පද්ධතිය වෙත ලබාදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

පාසල් දරුවන් කියවීමට දිරිගැන්වීම අරමුණු කරගනිමින්  ‘කළණ මිතුරු - පොත් සුමිතුරු වැඩසටහන’ අධ්‍යාපන පද්ධතිය වෙත හඳුන්වා දි ඇති බව ද මේ යටතේ රුපියල් මිලියන 300කට වඩා පුස්තකාල කියවීම් පොත් දැනටමත් පාසල් වෙත ලබා දී ඇති බව ද, වැඩියෙන් ම කියවීම ප්‍රගුණ කළ පාසල් දරුවන් 1000ක් ගෙන්වා කොළඹ දී ඔවුන් ඇගයීමකට ලක්කරන බව ද, ඔවුන් අතරින් ඉහළම ඇගයීම් ලබන දරුවන් 100 දෙනෙකුට චීන සංචාරයකට අවස්ථාව ලබාදෙන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය. පොතපත කියවීමට ඇති උනන්දුව දරුවන්ගෙන් ගිලිහී යන බවට වන ප්‍රවණතාව වෙනස් කිරීමට මේ හරහා දිරිගැන්වීමක් ලැබෙනු ඇති බව ද අමාත්‍යතුමා පැවසීය.

ඇතැම් පාසල්වල අපිළිවෙළ ට, අසංවිධානාත්මක ව  ගොඩනැගිලි, වැසිකිළි ඒකක ආදිය ඉදිකර ඇති අයුරු තමාට නිරීක්ෂණය වූ බවත්, එවැනි ඉදිකිරීම්වලට  ඉදිරියේ දී ඉඩ නොතබන බවත් එක් නිශ්චිත ප්‍රමිතියකට සෑම පාසලක ම ගොඩනැගිලි ඉදිකිරීම් සිදුකිරීමට මූලික සැලැසුම්  (මාස්ටර් ප්ලෑන්) සෑදීමට පියවර ගන්නා ලෙස මේ වනවිටත් චක්‍රලේඛ මගින් විදුහල් ප්‍රධානීන් දැනුවත් කර ඇති බව ද  අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

කිසිදු දේශපාලන අතපෙවීමකින් තොරව මෙරට අධ්‍යාපන පද්ධතිය වෙත විදුහල්පතිවරු 4000ක් බඳවාගත් බව ද, ඉදිරියේ දී තවත් 2000ක් බඳවාගැනීමට කටයුතු සූදානම් ව පවතින බව ද ගුරු අධ්‍යාපනඥ සේවයට 1190ක් ද අධ්‍යාපන පරිපාලන සේවයට නිලධාරීන් 852ක් ද බඳවාගැනීමට කටයුතු කළ බව සඳහන් කළ අමාත්‍යවරයා ක්‍රීඩා පුහුණු කරුවන් 3888ක් බඳවාගැනීමට නොබෝ දා කටයුතු කළ බවද ප්‍රකාශ කළේ ය.

මෙහි දී  තවදුරටත් කරුණු දැක් වූ අමාත්‍යවරයා,  “විද්‍යාපීඨවලට ඉස්සර එකවර ගත්තෙ 3000ක් විතර. අපි ඒක 4500ක් කළා. අපි මේ සැරේ කණ්ඩායම් දෙකක් ගන්නවා . දැන් ඒ කටයුතු අවසාන වෙමින් යනවා. මේ සැරේ 8000කට වැඩියි. අගෝස්තු මාසෙ පළවෙනි ද වෙද්දි රජය උපාධිධාරීන් 15000කට පත්වීම් දෙනවා.. එයින් 5000ක් අපේ අධ්‍යාපන පද්ධතියට ගන්නවා, කැබිනට් පේපර් එකක් දාලා. මේ ඔක්කොම වෙද්දි අනාගතයෙදි ගුරු හිඟයක් ඇති වෙන්නෙ නෑ. අපි මේ රටේ අධ්‍යාපනය තුළ සම්පූර්ණ පරිවර්තනයක් කරල තියෙනවා, අපි ආණ්ඩුවක් විදියට නිහඩ විප්ලවයක් කළා. සුරක්ෂා රක්ෂණයෙන් හැම දරුවෙක් ම රක්ෂණය කළා. සුදුවෑන් වෙනුවට දැන් එන්නෙ සුවසැරිය. අපි ඇතිකරපු නිදහස නිසා විවිධ පාර්ශව විවිධාකාරයෙන් අපට මඩ ගහයි. ඒත් අපි විශාල වැඩකොටසක් කරල තියෙනවා,යැයි ද පැවසීය.

මේ අවස්ථාවට බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.

 

 

 

 

 

 

 

 

ජාතික පාසලක වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ, සියලු ගුරුවරුන්ට තමා සේවය කරන පාසලට ම තම දරුවන් ඇතුළත් කරගැනීමේ අවස්ථාව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සලසා දී තිබේ.

ඒ අනුව සේවා කාලය වසර තුන සම්පූර්ණ කර ඇති ජාතික පාසල් ගුරුවරුන් වෙත දරුවන් ඇතුළත් කිරීමට අදාළ ලිපි ලබාදීම අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.

ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව හා සිසුහිතකාමී අයුරින් පවත්වාගෙන යාමට නම් ගුරුවරුන්ට යහපත් මානසිකත්වයකින් තම සේවා දායකත්වය ලබාදිය හැකිවිය යුතු බවත්, තමන් සේවය කරන පාසලට තම දරුවන් ද ඇතුළත් කරගැනීමට ගුරුවරුන් වෙත අවකාශ සලසාදුන් විට බොහෝ ගැටළු අවම කරගත හැකි බවත්, සමස්ත පාසල් දරුවන්ට වඩාත් හිතකර, හා ඵලදායී මෙහෙවරක් ලබාදීමට මෙම තීරණය හේතු වනු ඇති බවත් මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ ය.

දිවයිනේ ජාතික පාසල් 361ක ගුරුවරුන් 153 දෙනෙකු මේ යටතේ අදාළ සුදුසුකම් සපුරා තිබූ අතර, ඒ අනුව, ඔවුන්ගේ දරුවන් 162 දෙනෙකුට පාසල් සඳහා අනුමත ලිපි ලබාදීම අද සිදුකෙරිණි. උතුරු පළාතේ ජාතික පාසල් ගුරුවරුන් ‍මේ සඳහා අයදුම් කර නොතිබූ අතර සෙසු සියලු පළාත්වල සුදුසුකම් සපුරන ලද ජාතික පාසල් ගුරුවරුන් මේ සඳහා අයදුම් කර තිබුණි.

සුදුසුකම් සපුරන ගුරුවරයා සිටින පාසල බාලක හෝ බාලිකා වන අවස්ථාවල දී තම දරුවා ඒ හේතුව නිසා ඇතුළත් කරගැනීමට ගැටළුවක් වන විට දැනට දරුවා ජාතික පාසලකට ඇතුළත් ව නොමැතිනම් පමණක් අදාළ ගුරුවරයා සේවය කරන පාසලට ආසන්නයේ ම ඇති ජාතික පාසලට ඇතුළත් වීමේ අවස්ථාව සලසාදීමට ද මේ යටතේ පහසුකම් සලසා දී තිබේ. 2016 වසරේ සිට මේ ආකාරයට පොදු පදනමකින් ගුරුවරුන්ගේ දරුවන් ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දී ඇත.

එමෙන් ම 1,5,6 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි ශ්‍රේණි සඳහා ජාතික පාසල්වල පවත්නා පුරප්පාඩු ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධ කර විනිවිදභාවයකින් යුතුව දරුවන් ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමට ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ වසරේ සිට කටයුතු කරන ලදී. එමෙන් ම රජයේ ළමා නිවාසවල සිටින මවුපියන් අහිමි දරුවන්ට ද ඔවුන්ගේ ඉගෙනීමේ අයිතිය වෙනුවෙන් ළඟම ජාතික පාසල අයදුම්කිරීමට ද අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ වනවිට අවස්ථාව සලසා දී තිබේ.

කිරෙන් සපිරි දැයක් ' පාසල් සිසුන්ට දියර කිරි වේලක් ලබාදීමේ ජාතික වැඩසටහන අමතමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කළ ප්‍රකාශය

රජයේ ලියාපදිංචි වී ඇති සියලු ම ළමා නිවාසවල සිටින මව්පියන් අහිමි දරුවන්ට අදාළ ළමා නිවාසවලට ආසන්නයේ ම පිහිටා ඇති ජාතික පාසලට ඇතුළත් වීමට අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

අමාත්‍යවරයා මේ උපදෙස් ලබා දී ඇත්තේ, ජනප්‍රිය පාසලක විදුහල්පතිනියක් විසින් පසුගිය දා ළමා නිවාසයක දරුවන් කිහිප දෙනෙකු එම ජාතික පාසලට ඇතුළත්වීමට අයදුම් කළ අවස්ථාවේ දී,  පාසලටත් විදුහල්පතිනිය වශයෙන් තමාගේත් කීර්ති නාමයට හානි වන බව පවසමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධ ව අමාත්‍යවරයා වෙත තොරතුරක් සැළවීමත් සමඟිනි.

දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කිරීමට 2015 වසරේ සිට විවිධ ප්‍රගතිශීලී වැඩසටහන් ක්‍රියාත්මක  කර තිබිය දීත්, මව්පියන් අහිමි දරුවන්ට වෙනස් කොට සැලකීම දැඩි ලෙස හෙළා දකින බවත්, අධ්‍යාපනයට හිතැති සියලු දෙනා කළ යුත්තේ දරුවන්ට අධ්‍යාපනයෙන් ජීවිතය ජයගැනීමේ අවස්ථා විවර කරදීම බවත් මෙහි දී අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කරයි.  

 

ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව උදෑසන දියර කිරි ලබාදීමේ වැඩසටහනේ ආරම්භක උත්සවය සඳහා සහභාගිවූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ..

Search