නවතම පුවත්

2019 වසරේ දෙවෙනි වාරය සඳහා පාසල් ආරම්භ කිරීම ඊයේ (06) සිදු වුණා. ඒ ආරක්ෂක මණ්ඩලය පුමුඛ ආරක්ෂක අංශ විසින් පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති බව දැනුම් දීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් ඊයේ දිනයේ සිසුන්ගේ පැමිණීම සාපේක්ෂව අඩු මට්ටමක පැවැති බව වාර්තා වී තිබෙනවා. විශේෂයෙන් අගනුවර ආශ්‍රිත පාසල්වල මෙම තත්ත්වය වැඩි වශයෙන් පැවැති අතර බොහෝ ග්‍රාමීය පාසල්වල දරුවන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවැති බව එම ප්‍රදේශවල අධ්‍යාපන බලධාරීන් විසින් තහවුරු කර තිබෙනවා.ඊයේ (06) දිනයේ ගුරුවරුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පැවැති අතර බොහෝ පාසල්වල අධ්‍යයන කාර්ය මණ්ඩලවල සියලු දෙනා රාජකාරියට වාර්තා කර තිබීම විශේෂත්වයක්.          

1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා වන පන්ති සහ ප්‍රාථමික පාසල් අද දිනයේ ආරම්භ නොවූ අතර එම පාසල් එළැඹෙන සඳුදා (13) දෙවෙනි පාසල් වාරය වෙනුවෙන් විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා. 

ඒ අනුව ක්‍රමයෙන් පාසල්වල අධ්‍යයන කටයුතු යථා තත්ත්වයට පත්වනු ඇති බව අපගේ විශ්වාසයයි.එමෙන්ම පසුගිය දිනවල සිදු වූ අවසනාවන්ත සිදුවීම් වලට සාර්ථකව මුහුණ දෙමින් රටේ කටයුතු යථා තත්ත්වයට පත්කිරීමට සියලු දෙනා උත්සාහ කරමින් සිටින මොහොතක ඇතැම් කණ්ඩායම් විසින් ගෙනයනු ලැබූ අසත්‍ය ප්‍රචාරයන් හමුවේ පටු දේශපාලනික ප්‍රකාශ හමුවේ වුවද තම දරුවන් පාසල්වලට යොමු කර දරුවන්ගේ අධ්‍යාපනය සහ ආරක්ෂාව වෙනුවෙන් කැප වු සියලුම මාපියන්ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිය ස්තූතිය පිරිනමන අතර එම කටයුතු සාර්ථක කරගැනිමට කැපවීමෙන් ක්‍රියාකරන ආරක්ෂක අංශ නිලධාරීන්ට සහ විදුහල්පතිවරුන් ගුරුවරුන් ඇතුලු පාසල් ප්‍රජාවට ද සිය කෘතවේදිත්වය පලකළා.මෙවැනි තත්වයක් තුළ දී වුවද ජනතාව නොමඟ යවන ඇතැම් වෘත්තීය සමිති විසින් සිය වෘත්තීය සමිති ජනප්‍රිය කරවා ගැනීමේ අරමුණින් විවිධ අසත්‍ය මෙන්ම ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරමින් සිටින බව පෙනෙන්නට තිබේ..ඔවුන් තවදුරටත් ජනතාව මුලා කරමින් සිටින අතර එවැනි ක්‍රියාවන් වගකිව යුතු අමාත්‍යාංශයක් ලෙස අප තරයේ හෙළාදකිමු.

ජනප්‍රිය සටන් පාඨ කියමින් සමාජය මුලා කොට සාමාජිකත්ව ප්‍රවර්ධනයේ යෙදෙන ඊනියා වෘත්තීය සමිති වලට වඩා දරුවන් සහ පාසල් පිළිබඳ වගකීමක් රජයට සහ ආරක්ෂක අංශ වලට ඇති බව සිහිපත් කිරීමටද මෙය අවස්ථාවක් කරගන්නා අතර මෙවැනි සංවේදී මොහොතක කළ යුතුව තිබෙන්නේ වාද භේද දුරලා එකට එක්ව දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කොට ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමට ඉඩ නොදී කටයුතු කිරීම මිස අවස්ථාවාදී අරමුණු හඹායාම නොවන බවද අවධාරණය කරමු.      

 අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

 පාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් විපතට පත් පාසල් දරුවන් සහ ඔවුන්ගේ මාපියන් වෙත රජයෙන් ලබාදෙන වන්දි මුදලට අමතරව සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ඉතා ඉක්මනින්ම ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වසරේ සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ දෙගුණ කිරීමට හැකි වී ඇති බැවින් එම පිරිසට යම් අස්වැසිල්ලක් ලබා දීමට එමඟින් හැකියාවක් ලැබෙනු ඇති බවයි.

එම සිද්ධියට මුහුණ දුන් දරුවන්ගේ තොරතුරු ලබා ගැනිම සදහා විශේෂ වැඩසටහනක් පාසල් ආරම්භ වූ පසු ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

පාසල්වල අධ්‍යාපන කටයුතු මේ වනවිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ඊයේ සහ පෙරේදා දිනයට සාපේක්ෂව අද(08) දිනයේ දී පාසල් සිසුන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති බව අප කළ සොයා බැලීමේ දී අනාවරණය වුණා.

මේ අතර රාමසාන් උපවාසය වෙනුවෙන් සියලුම මුස්ලිම් පාසල් මේ වන විට නිවාඩු ලබා දී ඇති අතර සිසුන් පැමිණීමේ සමස්ත ප්‍රතිශතයට එයද බලපා තිබෙනවා.

 

පළාත් අනූව 6 ‌ශ්‍රේණියෙන් ඉහළ සිසුන්ගේ පැමිණීම ‍‍(ජාතික පාසල්ද ඇතුළත්ව)
(පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් ලබා දෙන සංඛ්‍යාලේඛන අනූව)
අ.අ
පළාත
2019.05.06
2019.05.07
2019.05.08
පැමිණි මුළු සිසුන් ගණන
ප්‍රතිශතය
පැමිණි මුළු සිසුන් ගණන
ප්‍රතිශතය
පැමිණි මුළු සිසුන් ගණන
ප්‍රතිශතය
1.    
උතුර
46,294
35.4%
69,900
46%
90,200
60%
2.    
නැගෙනහිර
36,820
26.8%
43,306
31.57%
137,100
42.53%
3.    
මධ්‍යම
58,434
18.1%
101,394
31.51%
107,932
33.54%
4.    
බස්නාහිර
28,548
4.93%
53,996
9.33%
73,522
13%
5.    
වයඹ
37,083
14.37%
52,981
17.55%
61,746
20.46%
6.    
සබරගමුව
48,608
20.25%
55,816
27%
63,733
30.83%
7.    
දකුණ
44,826
16.8%
73,300
27.49%
91,626
34.36%
8.    
උතුරුමැද
34,342
21%
46,294
35.4%
50,216
42.92%
9.    
ඌව
31,200
20%
63,053
40 %
70,273
46.46%

ආරක්ෂක අංශ පාසල් වලට ආරක්ෂාව සපයන ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් මාධ්‍ය විසින් ප්‍රසිද්ධ කර තිබෙනවා .ඒවා අතරින් තෝරාගත්  ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙනවා ..
 

 අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

සෑම පාසලකම ආරක්ෂාව තහවුරු වී තිබෙන බවට සියලු ආරක්ෂක අංශයන් හි පැහැදිලි එකඟතාවයක් ලබා ගෙන එළැඹෙන 06 වැනිදා පාසල් සියල්ල නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාසල් ආරම්භ කිරීම සහ පාසල් හි ආරක්ෂක තත්ත්වය පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ දී අද (02) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දීය.

දිවයිනේ සියලුම පාසල් සඳහා ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කරමින් එකම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දී ඇති කරුණු 18 කින් සමන්විත දැනුවත් කිරීමේ චක්‍රලේඛය ද පාසල් ප්‍රධානීන් වෙත යොමු කර ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ත්‍රිවිධ හමුදා, පොලිසිය සහ බුද්ධි අංශ වලින් ලබා දෙන තොරතුරු හා උපදෙස් මත තීරණ ගතයුතු බව පෙන්වා දෙන අධ්‍යාපන අමාත්‍යවරයා, ඊට පරිබාහිරව හුදකලාව තීරණ ගැනීමට පුඵවන් කමක් නැති බවයි අවධාරණය කළේ.  පාසල් නැවත ආරම්භ කිරීමට පෙර දැඩි ආරක්ෂාව සහිත ස්ථාන බවට පරීක්ෂාවලින් පසු තහවුරු කරගත යුතු බවත්, එසේම පාසල් ආරම්භ කළාට පසුව ද අවශ්‍ය ආරක්ෂාව ලබා දිය යුතු බවටත්, ත්‍රිවිධ හමුදා හා පොලිසියේ ප්‍රධානීන්ට ලිඛිත හා වාචිකව දැනුම් දී ඔවුන් හා සාකච්ඡා කර තීන්දු ගණනාවකට එළඹුනු බවත් ඇමතිවරයා සඳහන් කළා. සියලුම පාසල් පරිශ්‍ර හා අවට පරීක්ෂා කොට ආරක්ෂාව තහවුරු කිරීම සඳහා  පොලිසිය එකඟතාවය පළ කරන ලද බවත් ඇමතිවරයා පවසනවා.

ඒ අනුව පාසල් දරුවන‍්ගේ ආරක්ෂාව පිණිස ගතහැකි සෑම පියවරක්ම ආණ්ඩුව වශයෙන් හා අධ්‍යාපන අමාත්‍යාංශය වශයෙන් ගනු ලැබ ඇතැයි ද ඇමතිවරයා ප්‍රකාශ කරනවා. පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්, ගුරුවරුන්, මවුපියන් ආදි ශිෂ්‍යයන් මෙන්ම සිසුන්ට ද වගකීමක් තිබෙන බවත්, කරුණු 18 කින් සමන්විතව ආරක්ෂාව සම්බන්ධ දැනුවත් කිරීමේ එම චක්‍රලේඛය මගින් විදුහල්පතිවරුන්ට දැනුම් දුන් බවත් ඇමතිවරයා  පවසනවා.  එය දරුවන්ගේ ආරක්ෂාව කාට හෝ පැවරීමක් නොවන බව ද, දරුවන්ගේ ආරක්ෂාව මේ මොහොතේ සියලු දෙනාගේ ජාතික මෙන්ම පුරවැසි වගකීමක් බව ද ඇමතිවරයා පෙන්වා දෙනවා.

සියලුම ආරක්ෂ අංශ වලින් පාසල් ආරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිලි එකඟතාවයක් ලබා ගැනීමටත්, සියලු බුද්ධි අංශ වලින් තොරතුරු ලබා ගෙන පාසල් ආරම්භ කළයුතු බවටත් කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි ඇමතිවරයා ප්‍රකාශ කළේ.

කතෝලික පාසල් එදින නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් එම ප්‍රධානීන් හා කාදිනල්තුමා සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි.

පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම සියලු පියවර ගැනීමේ දී මැදිහත් වී ලබාදුන් උපරිම සහයෝගය පිළිබඳව ඇමතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ස්තුතිය පළ කරන බව ද සඳහන් කළා.

පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු විධිවිධාන පිළිබඳව පොලිසිය සමඟ සාකච්ඡා කිරීමටත්, සමහර වෑන් රථවල පමණ ඉක්මවා දරුවන් ප්‍රවාහනය කරන බැවින් ඒ සම්බන්ධයෙන් ද සැලකිලිමත් වන්නැයි පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙන බවත් පැවසූ ඇමතිවරයා ඉදිරියේ දී වෑන් රථවල පාසල් දරුවන් ප්‍රවාහනය සම්බන්ධයෙන් අවශ්‍ය විධිමත් ක්‍රියාමාර්ග ගනු ලබන බවත් ප්‍රකාශ කළා.

 

පාසල් තුළ සහ ඒ අවට  ආරක්ෂක තත්ත්වයන් තහවුරු වී ඇති බව ආරක්ෂක මණ්ඩලය ප්‍රමුඛ ආරක්ෂක අංශ දැනුම් දීමෙන් පසු පසුගිය සඳුදා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.

ඒ අනුව මේ වන විට පාසල් වෙත සිසුන්ගේ පැමිණීම ඉහළ යමින් පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති අතර අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට පියවර ගන්නා ලෙසද අධ්‍යාපනය අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානින් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

 කෙසේ වෙතත් යම් කණ්ඩායම් පාසල් කටයුතු අඩාල වන අන්දමින් ප්‍රකාශ සිදුකරමින් සිටින බවට පැමිණිලි රැසක් අධ්‍යාපනය අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර ඇතැම් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්  ද, දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස බලපෑම් කරන බවට ද තොරතුරු ලැබී තිබෙනවා.

විවිධ දේශපාලන පටු අරමුණු සහ අවස්ථාවාදී මතවාද සහ පුද්ගලික කරුණු මත පදනම්ව කටයුතු කරන එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීමට අධ්‍යාපනය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එමෙන්ම එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලබාදීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.

  පාසල් ආරම්භ කිරීමේ තීරණය ගෙන තිබෙන්නේ සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

              

              පාසල් වල ආරක්ෂාව තහවුරු කිරීම සදහා ත්‍රිවිධ හමුදාව පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකාය එක්ව විශේෂ ක්‍රියාන්විතයක් මේ වනවිටත් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා යුධ හමුදාවේ 14වන බල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මැයි මස පළමු වෙනිදා සිට අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි. පාසල් ආරම්භ කිරිමට නියමිත මැයි මස 06 වැනිදා දිනයට පෙර එනම් මැයි මස 05 වන දිනය වනවිට  සියලුම පාසල් භූමි සහ පාසල් අවට ආරක්ෂාව තහවුරු කිරීමට හැකිවන බව ද ඔහු සඳහන් කළා. එමෙන්ම පාසල් ආරම්භ කිරීමෙන් පසු ස්ථානීය මුර සංචාර සහ විශේෂ සෝදිසි කණ්ඩායම් පාසල් ආරක්ෂාව සඳහා යොදා ඇති බව ද සදහන් කළා.

           මෙහි දි අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කළේ ජනාධිපතිවරයාත් කැබිනට් මණ්ඩලයත් බුද්ධි අංශයේ සහ ආරක්ෂක මණ්ඩලයේ සහතික වීම මත මැයි මස 06 වෙනි සදුදා පාසල් ආරම්භ කිරිමට තිරණය කර ඇති බව සදහන් කළා. මේ වනවිටත් දිවයිනේ සියලුම පාසල් පරික්ෂා කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ආරක්ෂක අංශවල සහතික වීම සහ කැපවීම පිළිබදව ද සිය ස්තූතිය පිරිනැමුවා.

         අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ අදහස් පළකලේ පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක කොළඔ නගරයේ පාසල් කිහිපයක සිදු කළ සංචාරයක් අතර තුර, කොළඔ ආනන්ද විද්‍යාලයේ දී පැවති සාකච්ඡාවට එක්වෙමින්.

     මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ, අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන් ම ශ්‍රී ලංකා යුධ හමුදාවේ 14වන බල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති රන්දුල හත්නාගොඩ මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිපදෙනෙකු ද එක්වුණා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මානව සම්පත් සංවර්ධන ශාඛාව හා සෞඛ්‍ය,ක්‍රීඩා හා ශාරිරික අධ්‍යාපන ශාඛාවන් ඒකාබද්ධව සංවිධානය කර ඇති  රජයේ පාසල් වල ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා වන සේවාරම්භක පුහුණු පාඨමාලා 2019/05/06 දින සිට පූර්ණ කාලීන නේවාසික පුහුණුවක් ලෙසින් අඛණ්ඩව සති 06 ක කාලයක් පුරා පැවැත්විමට කටයුතු සංවිධානය කර තිබේ. 

මෙම පුහුණු වැඩසටහන ආරම්භ කිරිමට පෙර 2019/05/05 දින පළාත් මට්ටමින් සමාරම්භක උත්සව පැවැත්විමට කටයුතු යොදා ඇත.  

පාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් කම්පනයට පත් පාසල් දරුවන් මානසිකව නඟා සිටුවීම පිණිස උපදේශන වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාවට නඟන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරනවා.

එම සිද්ධියට මුහුණදුන් සමහර දරුවන්ට සිය මවුපියන් අහිමි වී සිටින අතර තවත් සමහරකුගේ සහෝදර සහෝදරියන් මෙන්ම සමිප නෑ හිතමිතුරන් පවා වියෝව හෝ ආබාධිත තත්වයට හෝ පත්ව සිටින බැවින් එකී දරුවෝ බලවත් මානසික කම්පනයකට පත්ව සිටින නිසා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කරනවා.

මෙම කඩිනම් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ රටවල ස්වේච්ඡා කණ්ඩායම් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක් වි කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

2019 වර්ෂයේ අප්‍රේල් මස 19 දින සිට 25 දින දක්වා මැලේසියාවේ ක්වාලලම්පූර් හි පවත්වන ලද 26 වැනි අන්තර්ජාතික තරුණ විද්‍යාඥයින්ගේ සමුඵව, පර්යේෂණ පදනම් වූ ද්විතීයික පාසල් සිසු සිසුවියන් සඳහා වූ අන්තර්ජාතික තරඟයකි. මේ සඳහා සහභාගි වූ  රටවල් 32 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුලු ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පර්යේෂණ පත්‍රිකා 250 ක් ඉදිරිපත් කරමින් සිය දක්ෂතා ඉදිරිපත් කළහ.

මෙම රටවල් වලට අයත් රුසියාව, නෙදර්ලන්තය, ජර්මනිය, ඉන්දුනීසියාව, බ්‍රසීලය, ප්‍රංශය සහ ඉන්දියාව ද නියෝජනය කරමින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගි වූ අතර ශ්‍රී ලංකා සිසු සිසුවියන් තෙවන වරට මෙම තරඟය සඳහා ඉදිරිපත් විය. ඒ අතරින් පහත සඳහන් පරිදි සිය පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කළ සිසු සිසුවියන් ලෝකඩ පදක්කම් 01 ක් සහ ජුරියේ විශේෂ සම්මාන දෙකක් හිමි කර ගැනීමට සමත් විය.

පර්යේෂණ පත්‍රිකා (Research Presentation)  වෙනුවෙන් ලද ජයග්‍රහණයන්

  1. ඩබ්. කළණ විජේවර්ධන හා ඩබ්. හසිනි විජේවර්ධන - අනුරාධපුර ම.ම.වි. - ලෝකඩ පදක්කම

The Allelopatic effect of Stage Plants of typical tree Species in dry Zone, Sri Lanka

 

  1. ටී.එච්. ශෂිකලා මධුවන්ති, මඩකුඹුර ම.ම.වි. -  කරන්දෙනිය  - ජූරියේ විශේෂ සම්මාන

Soap Production using Goda in Cinnamon Production

  1. එස්. සුපුන්ජි වීරකෝන්, මහනුවර උසස් බාලිකා විද්‍යාලය       - ජූරියේ විශේෂ සම්මාන

Investigation on anti – microbial properties of Mikania Micrantha

Search