නවතම පුවත්

 

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සමත් වන සිසුන් විද්‍යා සහ ගණිත අංශවලින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු කරවීම සඳහා නව වැඩපිළිවෙළක් සැලසුම් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා (04) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති පාසල් 3000 ක් සඳහා ජංගම විද්‍යාගාර උපකරණ කට්ටල ලබා දීම පිළිබඳව විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවකට එක්වෙමින්.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා විද්‍යා සහ ගණිත විෂයයන්ට අදාළ පීඨ වෙත ඇතුළත් වන සිසුන්ගේ හිඟයක් පවතින බවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් කළ දැනුවත් කිරීමක් මත මෙම පියවර ගැනීමට තීරණය කළ බවත් එම වැඩපිළිවෙළ මේ වන විට සැකසෙමින් පවතින බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සාක්ෂාත් කිරීම වෙනුවෙන් සක්‍රීය ව දායක විය හැකි, නූතන තාක්ෂණික අභියෝගවලට සාර්ථක ව මුහුණ දීමට සමත් විශිෂ්ට ගුරුපරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඩිජිටල් ඉගෙනුම් තාක්ෂණය පාසල් අධ්‍යාපන පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීම කෙරෙහි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

Search