නවතම පුවත්

සිංහල ලේඛකයන්ගේ සාහිත්‍ය කෘති දෙමළ භාෂාවට හා දෙමළ ලේඛකයන්ගේ කෘති සිංහල භාෂාවටත් පරිවර්තනය කොට පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කරන ලද බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යතුමා එසේ ප්‍රකාශ කළේ, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ කන්දයියා පද්මනාදන් මහතා විසින් රචනා කරන ලද කාව්‍ය ග්‍රන්ථ දහයක් එළි දැක්විම නිමිත්තෙන් බම්බලපිටිය සරස්වතී ශාලාවේ දී ඉකුත් දා පැවැති උත්සවය අමතමිනි.

මෙරට දෙමළ ජනතාවට බෙහෙවින් කියවීමට ලැබී ඇත්තේ ඉන්දියානු කතුවරුන් ලියා මෙහි ආනයනය කරන ලද දෙමළ සාහිත්‍ය පොත් බව සඳහන් කළ අමාත්‍යවරයා ශ්‍රී ලාංකික දෙමළ ලේඛකයන්ගේ පොත් මෙහිම ප්‍රකාශයට පත් කිරීමෙන් මෙරට සංස්කෘතිය හා දේශීයත්වය අගයන සාහිත්‍ය කෘති රස විඳීමට දෙමළ ජනතාවට අවස්ථාව උදාවන බව පෙන්වා දුන්නේය.

දෙමළ ජනතාවට සිය භාෂාවෙන් පොත් ලිවීමට හා ප්‍රකාශනයට පවතින අඩුපාඩු මඟ හැරවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සමඟ පැවැති සාකච්ඡාවක දී ඉහත තීරණයට එළඹුණ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

සිංහල හා දෙමළ පොත් පරිවර්තනය කිරීමේ වැඩපිළිවෙල නිසා එම භාෂා පරිශීලනය කරන ජනතාවට එකිනෙකාගේ හැඟීම් අවබෝධ කර ගැනීම සඳහා මහඟු අවස්ථාවක් සැලසෙන බවට ද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

ලෝකයේ රටවල් 22ක සහභාගීත්වයෙන් වාර්ෂික ව පැවැත්වෙන ආසියානු ශාන්තිකර කලාපීය රුවල් ඔරු තරගාවලිය (IODA)  වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (11) අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ  අකිල විරාජ් කාරියවසම් මහතා හමුවිය.

 තරගාවලියේ Silver Fleet අංශයේ තුන්වැනි ස්ථානය දිනාගත්, දැනට ලංකාවේ බිහිව සිටින රුවල් ඔරු ජාතික ශූරතාව හිමි ශාන්ත තෝමස් විද්‍යාලයේ ධනික නානායක්කාර ප්‍රමුඛ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකු මේ අවස්ථාවට එක්ව සිටි අතර අධ්‍යාපන අමාත්‍යවරයා ඔවුන් වෙත සිය සුබපැතුම් එක් කළේය.

මෙම ආසියානු ශාන්තිකර කලාපීය රුවල් ඔරු තරගාවලියේ 2020 වසරේ සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරන අතර, මෙවර මෙම තරගාවලිය පවත්වනු ලැබූයේ ඕමානයේ මුෂානා වෙරළ තීරයේ දීයි. මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාතික පුහුණුකරු වශයෙන් කටයුතු කරන ලද්දේ ක්‍රිශාන් ජානක මහතායි.

සුරක්ෂා සිසු රක්ෂණාවරණය මගින් මේ වනවිට සිසුන් 35,000කට රුපියල් මිලියන 1,588ක ප්‍රතිලාභ ලබා දී තිබේ. මේඅනුව, 2018 වසරේ දෙසැම්බර් 01 සිට 2019නොවැම්බර් 30 දක්වා ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් අදාළ රක්ෂණ ආයතනය වෙත රජය විසින් වෙන් කරන ලද සමස්ත මූල්‍ය ප්‍රතිපාදනය ම සිසු දරුවන් වෙනුවෙන් ලබාදීමට හැකිවනු ඇත.

මව්පිය අහිමිවීමක දී සිසුදරුවන්ගේ අධ්‍යාපනය අඩාලවීමට ඉඩ නොතැබීමටත්, අසාධ්‍ය රෝග, හදිසිඅනතුරු අවස්ථා මෙන් ම දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට සිදුවන ඕනෑම අවස්ථාවක දී ඒ සඳහා ශක්තිමත් ව මුහුණදීමටත් සුරක්ෂා සිසු රක්ෂණාවරණය මගින් සුවිසල් පිටුබලයක් සැලසෙන අතර මෙම ගෙවීම් තුළ පුද්ගල මරණ සම්බන්ධ ව සිදුකරන ලද ඉල්ලීම් 4,800ක් ඇතුළත්ය.

අධ්‍යාපන අමාත්‍යතුමාගේ උපදෙස් අනුව, මේ වසරේ සිට සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ වැඩි කිරීමට සුවිශේෂී පියවර කිහිපයක් ගෙන ඇත. රජයේ රෝහල්ගත වන දිනකට ගෙවන මුදල රුපියල් 1,000/- සිට රුපියල් 3,000/- තෙක් වැඩි කිරීම, බාහිර ප්‍රතිකාර යටතේ ශ්‍රව්‍ය-දෘශ්‍ය උපකරණ, ඇස් කණ්ණාඩි වැනි උපකරණ ලබා ගැනීමේ හැකියාව, විශේෂඥ වෛද්‍ය සේවා ගාස්තු ලබා ගැනීමට හැකියාව, මුදල් ගෙවීමකින් තොර ව රෝහල්ගත වීමේ හැකියාව, රෝහල්ගත වීමට පෙර දින 7ක් සහ රෝහලෙන් පිට වූ පසු දින 14ක් බෙහෙත් ලබා ගැනීමේ හැකියාව ද ලබා දීම ඒ අතර ප්‍රමුඛ වේ.

රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් 200,000ක් ද, බාහිර ප්‍රතිකාර සඳහා රු.20,000/-ක් ද,අසාධ්‍ය රෝගප්‍රතිකාර සඳහා රුපියල් 200,000ක සිට අවශ්‍යතාව අනුව ඒ සඳහා වැය වන මුළු මුදල ද, පූර්ණ අකර්මණ්‍යතාවකදී රු. 200,000ක් ද, අර්ධ අකර්මණ්‍යතාවක දී රු.150,000/- සිට රු. 200,000/-ක් දක්වා ද, මවුපිය වියෝවකදී එක් අයකුට රු. 200,000/- බැඟින් දෙදෙනාට ම ආවරණය ද, (පවුලේ සියලු දරුවන් සඳහා වෙන් වෙන් ව) ශිෂ්‍ය වියෝවක දී රු. 150,000/- ක මුදලක් ද ප්‍රතිලාභ ලෙස පිරිනැමේ.

දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වරට අධ්‍යාපන අමාත්‍ය,නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මෙරට පාසල් පද්ධතිය වෙත හඳුන්වාදෙන ලද මෙම සිසු රක්ෂණාවරණයෙහි ප්‍රතිලාභ අවුරුදු 5-21 වයස් සීමාවේ පසු වන සියලු ම පාසල් දරුවන් වෙත නොපමාව ලබාදීම රජයේ අරමුණ බැවින් සුරක්ෂා ප්‍රතිලාභ ලබාගැනීමේ දී යම් ප්‍රමාදයක් හෝ වෙනත් ගැටළුවක් මතුවේ නම්,අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ 0112369369, 0113641555,0112784872 යන දුරකතන අංකවලට අමතා ඒ සම්බන්ධ ව දැනුම් දෙන ලෙස ද අමාත්‍යවරයා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම්

අද (10) දවසේ ආරම්භ කරන ජනාධිපතිවරණ සටන ජයග්‍රහණය දක්වාම ගෙන යන බවත් කොළඹ ගෝල්ෆේස් පිටියට සිව් දෙසින් පැමිණි මහා ජන ගංඟාව ජනාධිපතිවරණයට හංසයා ලකුණින් තරඟ කරන සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.

මෙවර ජනාධිපතිවරණය, මෙරට ජනතාව භුක්තිවිදින නිදහස හා අයිතිවාසිකම් ආරක්ෂා කර ආර්ථික දියුණුව තීරණය කරන ජනාධිපතිවරණයක් බැවින්ජනතාව සිය ජන්දය ප්‍රකාශ කිරිමේදී රට මිස පවුල් වාදය තෝරානොගත යුතු බව මහලේකම්වරයා ප්‍රකාශ ක‌ෙළ්ය.

මහලේකම්වරයා එසේ ප්‍රකාශ කළේනව ප්‍රජාත්‍රන්තවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය  තහවුරු කිරීමට අද (10) කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවති අති දවැන්ත ජන රැළිය අමතමිනි.

“ජනාධිපතිවරණය හරියට ක්‍රීඩා තරඟයක් වගේ. තරඟය ආරම්භයේදී කාසියේ වාසිය බලනවා. ඒ වගේ මේ තරගයේදී පවුලද රටද වඩා වැදගත් වන්නේ කියලා බලන්න ඕනේ. පවුල ඕනෑ නම්,පොහොට්ටුව. රට ඕනෑ නම් හංසයාට ජන්දය දෙන්න. ඒකාධිපතිවාදය ඕනෑ නම්, පොහොට්ටුව. ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑ නම්, හංසයාට ජන්දය දෙන්න.

ශ්‍රි ලංකාව ලෝකෙන් වෙන් වූ රටක් බවට පත් කිරීමට අවශ්‍ය ද? එසේ නම් පොහොට්ටුව. ශ්‍රි ලංකාව සිංගප්පූරුව වැනි දියුණු රටක් කිරීමට අවශ්‍ය නම්  හංසයාට ජන්දය දෙන්න. යුක්තිය හා ප්‍රතිපත්ති රජයන රටක් අවශ්‍ය නම්  හංසයාට ජන්දය දෙන්න.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බාධක පනවා ගන්න ඕනෑ නම්, පොහොට්ටුව. එක්සත් ජාතින්ගේ සංවිධානයෙන්  පිලිගන්නා බලගතු රටක් බවට පත් කර ගැනීමට නම් හංසයාට ජන්දය දෙන්න. ‘ගෝඨා - භය’ ආපසු ඕනෑ නම්, පොහොට්ටුව.

ජනතාව වෙනුවෙන් වැඩ කරන නායකයෙක් පත් කර ගැනීමට ඕනෑ නම් හංසයා. ඇමරිකාවෙන් ආනයනය කල ජනාධිපතිවරයෙක් ඕනෑ නම්, පොහොට්ටුව. ශ්‍රී ලංකාවේ ම ජනාධිපතිවරයෙක් ඕනෑ නම් හංසයාට ජන්දය දෙන්න” යැයි ද මහලේකම්වරයා රැස්ව සිටි දැවැන්ත ජන රැළියට සහභාගී වී සිටි ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

“නාමයෝජනා බාරදුන් දිනයේ ජනමාධ්‍ය අමතමින් පොහොට්ටු පක්ෂයේ නායකයකු මෙරටට ‘ටර්මිනේටර්’(Terminator)කෙනෙකු අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා. ටර්මිනේටර් යන වචනයෙන් කියවෙන්නේ කම්මුතු කරන්නා යන තේරුමයි. අද ශ්‍රී ලංකාවේ ජනතාව භුක්ති විදින නිදහස, අයිතිවාසිකම් කම්මුතු කරන පවුල් වාදය තහවුරු කරන නායකයෙක් අවශ්‍ය නැහැ.එම නිසා සියලු දෙනාගේ ශක්තියෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරවා තවත් වසර 15 කට එක්සත් ජාතික පෙරමුණේ පාලනයක් හිමි කර ගත යුතුයි”.මහලේකම්වරයා අවධාරණය කළේය.

කුලියාපිටිය සාරනාත් විද්‍යාලය ඇතුළු පාසල් 8ක් ජාතික පාසල් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව කටයුතු කර තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල විලයාය මධ්‍ය මහා විද්‍යාලය,තෝපාවැව මහා විද්‍යාලය,දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලය ,බකමුණ මහසෙන් මහා විද්‍යාලය ,පොළොන්නරුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය ,අම්පාර උහන මහ විද්‍යාලය සහ ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය ද ජාතික පාසල් බවට පත් කිරීම සඳහා අනුමැතිය හිමි වුණා.

Search