‘පාසල් දරුවන්ගේ විනය, හික්මීම සහ හැසිරීම පිළිබඳ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ද වගකිවයුතුයි ’
පාසල් දරුවන්ගේ විනය, හික්මීම සහ හැසිරීම පිළිබඳ විදුහල්පතිවරුන්, සහ ගුරුවරුන් වෙත වැඩි වගකීමක් පැවරෙන බවත්, පාසල තුළ හෝ පාසලින් පරිබාහිරව සිසුන් විනය විරෝධී හැසිරීම්වල නිරත වීම සම්බන්ධව දෙමව්පියන්, ගුරුවරුන් මෙන් ම විදුහල්පතිවරුන් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (6) පෙරවරුවේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයකට එක්වෙමින්. පාසල් දරුවන්ගේ විනය විරෝධී හැසිරීම් සම්බන්ධව පසුගිය දිනවල සමාජ වෙබ් අඩවිවල පළ වූ පුවත් සම්බන්ධව මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, එවැනි සිදුවීම්වලට අදාළ වගකීම විදුහල්පතිවරුන් මෙන් ම ගුරුවරුන් ද දැරිය යුතු බවයි. දරුවන්ගේ විනය ආරක්ෂා කරදෙමින් ඔවුන්ගේ අනාගතය ශක්තිමත් කිරීම වෙනුවෙන් සෑම පාසලකම ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට විශාල වගකීමක් පැවරෙන බවත්, දරුවන්ගේ හැසිරීම්, ඔවුන් ඇසුරුකරන පුද්ගලයින් සහ ඔවුන්ගේ ගැටළු සම්බන්ධව දෙමව්පියන්, ගුරුවරුන් මෙන්ම පාසල් ප්‍රධානීන‍් ද අවධානයෙන් කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළා. අධ්‍යාපනයේ විප්ලවීය වෙනස්කම් රැසක් ක්‍රියාවට නංවමින් සිටින මෙවන් මොහොතක ඒ සඳහා රටේ පාසල් පද්ධතිය ද ශක්තිමත්ව නඟා සිටුවීම තම අපේක්ෂාව බවත් අමාත්‍යතුමන් මෙහි දී සඳහන් කළා. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අසමත් වීමෙන් පාසල් හැරයන සිසුන් තවදුරටත් පාසල්වල රඳවාගැනීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම, පාසල් සුපරීක්ෂණ මණ්ඩල පිහිටුවීම, රටේ සියලු පාසල්වල වත්නා ගුරු හිඟය තුරන් කිරීම, උසස් පෙළ සමතුන් වෙනුවෙන් ටැබ් පරිගණක ලබාදීම, පාසල් දරුවන් සඳහා විශේෂ රක්ෂණාවරණයක් ලබා දීම ඇතුළු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග රැසක් මේ වනවිටත් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා. මේ අවස්ථාවට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමතු.ග මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා.
Category: Video Gallery | Created by: | Hits: 5554