2017-05-24 parliament පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර

පසුගිය පාලන සමයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වූ ආකාරය සහ අනුගමනය කරන ලද ප්‍රතිපත්ති සහ ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අකාර්යක්ෂම තත්ත්වයට පත්ව ඇති බවත් වර්තමානයේ දී ද එම තත්ත්වයන් නිරාකරණය කිරීමට තරම් ශක්තිමත් පරිපාලන යාන්ත්‍රණයක් නොමැති බැවින් වහාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගතවී තිබුණ ද පසුගිය කාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා ඉටුවිය යුතු ව තිබූ බොහෝ කටයුතු පැහැර හැර තිබූ බවත් විශේෂයෙන් ම උතුරු නැගෙනහිර පුරා විද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීම මෙන් ම පුරාවිද්‍යා රක්ෂිතයන්හි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සම්බන්ධව පුරාවිද්‍යා පනතේ විධිවිධාන අනුව නටයුතු නොකිරීම හේතුවෙන් වර්තමානයේ දී ද ගැටළු රැසක් ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා. එසේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා පවතින තනතුරු පුරප්පාඩු සියයට අසූවක් පමණ නිසි පරිදි සම්පූර්ණ කර නොතිබීම නිසා මතුව ඇති පරිපාලන ගැටලු වහා ම විසඳීමට විධිමත් පරිදි තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා වහා ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යහගත කිරීම සඳහා කටයුතු කරන බව අවධාරණය කළා. එමෙන් ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ සිදුකරන සංරක්ෂණ කටයුතු වේගවත් කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුල්‍ය දායකත්වය ලබාදීමට විශේෂ වැඩසටහනක් සකස් කරන බව ද සඳහන් කළා.

Category: Video Gallery | Created by: | Hits: 5743