පාසල් නිල ඇඳුම් වවුචර නිකුත් කෙරේ.
පසුගිය වසරේදී හඳුන්වාදුන් පාසල් නිල ඇඳුම් තිළිණපත් වවුචර 2017 වර්ෂය සඳහා පාසල් දරුවන් වෙත ලබාදීම අද සිට අරඹන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඒ අද (11) දින මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්. මෙවර නිල ඇඳුම් තිළිණපත් වවුචර කාණ්ඩ 14 ක් යටතේ නිකුත් කෙරෙන අතර වර්තමාන වෙළඳපොල වටිනාකම අනුව සලකා බලා රු. 500 සිට රු. 1,700 ක වටිනාකමකින් යුක්ත ව නිල ඇඳුම් තිළිණ පත් නිතුත් කෙරෙනවා. ඉතාමත් විධිමත් ක්‍රමවේදයකට අනුව බෙදාහැරීම සඳහා සියලු කටයුතු යොදා ඇති බව ද තමන් කැමති ඕනෑම වෙළඳසැලකින් වවුචරය ඉදිරිපත් කර තමන්ට හිමි නිල ඇඳුම් රෙදි ලබාගැනීමට හැකිවන බව ද අමාත්‍යවරයා කියා සිටියා. රජයේ පාසල් හා අනුමත පෞද්ගලික පාසල්වල ශිෂ්‍යයන් 4,139,164 දෙනෙකු හා පිරිවෙන්වල පැවිදි ගිහි ශිෂ්‍යයන් 67,200 දෙනෙකු සඳහා නිල ඇඳුම් තිළිණ පත් ලබාදීමට නියමිතයි. මේ සඳහා වැය කරන මුදල රු.මි. 2,450 ක්. පසුගිය සමයේ නිල ඇඳුම් රෙදි ලබාදීමේ දී සිදු වූ ප්‍රවාහන, ගබඩා, ඉන්ධන, මෙහෙයුම් සහ වෙනත් වියදම් බොහෝමයක් ඉතිරි කරගැනීමට මෙම ක්‍රමවේදය හරහා හැකිවී තිබෙනවා. එමෙන් ම වෙළඳුන් කිහිප දෙනෙකු අත පැවති ඒකාධිකාරී බලය ද මෙම ක්‍රමවේදය හරහා බිඳ වැටී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ දිවයින පුරා සිසු දරුවන් ලක්ෂ හතලිස් තුනකට ආසන්න පිරිසක් රු.මි. 2,450 ක් වන මුදල් ද සමගින් නිල ඇඳුම් රෙදි ලබා ගැනීම සඳහා වෙළඳපොලට යාමෙන් දේශීය රෙදි ව්‍යාපාරිකයින්ගේ ව්‍යපාර කටයුතු ද සාර්ථක වන බවයි. එමෙන්ම තරගකාරී වෙළඳපොල තුළ තත්ත්වයෙන් ඉහළ රෙදි දරුවන් වෙත ලබාදීම සඳහා ව්‍යාපාරිකයන් තුළ ද තරගකාරිත්වයක් ඇති වන බවද අමාත්‍යවරයා සඳහන් කළා. නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර ලබාදීමෙන් වත්මන් රජය බලාපොරොත්තු වන්නේ පසුගිය කාලයේ සිදු වූ දූෂණ අක්‍රමිකතා වලින් තොරව රටේ ජනතාවගේ මුදල් ඉතිරි කරදීම බව ද අමාත්‍යවරයා අවධාරණය කළා. මේ අනුව මෙවර නිල ඇඳුම් වවුචර ලබාදීම එළඹෙන සතියේ සිට පාසල් මට්ටමින් ආරම්භ කරන බවද සඳහන් කළ අමාත්‍යවරයා ව්‍යාපාරිකයින්ට වවුචර ඉදිරිපත්කිරීම සඳහා රාජ්‍ය බැංකු පමණක් නොව පෞද්ගලික බැංකුවල ද පහසුකම් සලසා ඇති බව ද සිහිපත් කළා. මේ අවස්ථාවේදී නිල ඇඳුම් ලබාදීම සංකේතවත් කරමින් පිරිවෙන් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් හා සිසු දරුවන් දෙදෙනෙක් වෙත නිල ඇඳුම් තිළිණපත් වවුචර ලබාදීම ඇමතිවරයා අතින් සිදු කෙරුණා.
Category: Video Gallery | Created by: | Hits: 16899