නවතම පුවත්

“බුදුදහම නඟාසිටුවීම වෙනුවෙන් අපි බොහෝ දේ සිදුකර තිබෙනවා ”

- අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම්

පිරිවෙන් සහ විහාරස්ථාන දියුණු කරමින්, රට තුළ බුදුදහම නගාසිටුවීම වෙනුවෙන් රජයක් වශයෙන් බොහෝ දේ  සිදුකරන ලද බව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමා පවසනවා. ඉලුක්හේන බෙරුවැව ශ්‍රී සුධර්මාරාම විහාරාධිකාරී රත්මලේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ සහ විහාරාධිපති බෙරුවැවේ සුගතඤාණ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඉදිකරන ලද අභිනව ධාතු මන්දිරය, සංඝාවාසය, පුස්තකාලය සහිත දෙමහල් ගොඩනැගිල්ල, විහාරමන්දිරයෙහි අභිනව කොටස ඇතුළු තවත් පූජනීය ස්ථාන විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් පසුගිය දා (06) අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “රජයක් විදියට මේ රටේ විහාරස්ථාන දියුණු කරන්න අපි ගොඩක් වැඩකටයුතු කරගෙන යනවා. පිරිවෙන් දියුණු කරන්නත් අපි කටයුතු කරල තියෙනවා.. මෙහෙණින් වහන්සේලාට අධ්‍යාපන ක්‍රමයක් තිබුණෙ නෑ. ප්‍රථම වතාවට අපි මෙහෙණින් වහන්සේලාට පිරිවෙන් ක්‍රමය ඇති කරල, අද මෙහෙනින් වහන්සේලා සිටින සියලුම පිරිවෙන්වලට ගුරුවරුන් ලබාදෙන්න, ගුරුවරුන්ට වැටුප් ලබාදෙන්න පනතක් ගෙනැල්ල අනුමැතිය ලබාගෙන ක්‍රියාත්මක කරන්න කටයුතු කරල තියෙනවා. පිරිවෙන් සහ විහාරස්ථාන දියුණු කරමින් බුදුදහම නඟාසිටුවීම වෙනුවෙන් රජයක් වශයෙන් අපි බොහෝ දේ සිදුකර තිබෙනවා. විශේෂයෙන් ම මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ පසුගිය කාලයේ අපිට පුළුවන් වුණා, රජයක් විදියට  අපි වසර සියයකට වඩා පැරණි කිසිකෙනෙකුගේ අවධානයට එතෙක් ලක්ව නොතිබුණු විහාරස්ථාන 1500ක් සංවර්ධනය කර සංරක්ෂණය කරන්න රුපියල් ලක්ෂ පහ ගානෙ දුන්නා, මට මතකයි රුවන්වැලි සෑයේ වැලි අතුරන එකේ ඉඳල, මහා විහාරයේ සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කරන්න අපි මුදල් වෙන් කළා.  ඒවගේම මට මතකයි, දීඝවාපිය ප්‍රතිසංස්කරණයට කෝටි 75ක් අපි වෙන් කළා..”යැයි ද පැවසීය.

 කවුරුන් අතරත් හොඳ හිත දිනාගෙන කටයුතු කරන, වෙනස් ඇසකින් දකින, වෙනස් ලෙස හිතන, නිර්මාණශීලී ව කටයුතු කරන විහාරාධිකාරී ආනන්ද ස්වාමීන්වහන්සේගේ කැපවීම්සහගත කාර්යභාරය අතිශයින් අගය කරන බව ද, තමන් කුඩාකල පටන් ආගිය පන්සලක් වශයෙන් එදා සහ අද මෙහි පවත්නා වෙනස හොඳින් අවබෝධ කරගත හැකි බවත්, තමන්ට ලැබෙන පිරිකර පවා යොදාගනිමින් පවත්නා අඩුපාඩු සපුරාගන්නා මෙවැනි විහාරස්ථාන කෙරෙහි අවධානය යොමු කරමින් ඒවා නගාසිටුවීමට සහාය ලබාදීමට දේශපාලන අධිකාරය නියෝජනය කරන තමා ඇතුළු සියලු දෙනා සතුව ද යුතුකමක් පවත්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළා.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් ද එක්ව සිටියා.

Search