ළඟදීම පන්තියට එන 'ඩිජිටල් ගුරුවරයා '

මුද්‍රණය

වෙනස්වන ලෝකයට අලුත් දැනුම සමඟ යා යුතු බවත්, ඒ වෙනුවෙන් පහසුවෙන් සහාය කරගත හැකි, වේගයෙන් නව දැනුම ලබාදීමට සමත් ඩිජිටල් ගුරුවරයෙක් ළඟදීම පාසල් දරුවන්ට ලබාදීමට සියලු කටයුතු සූදානම් ව පවතින බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, 'ළඟම පාසල හොඳම පාසල ' සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල, ගිරිඋල්ල අධ්‍යාපන කලාපයට අයත් නාපොකුණ කනිෂ්ඨ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පාසල් දරුවන්ට නව ලොව නව දැනුම සමඟ එක්වීමට ඩිජිටල් තාක්ෂණයේ සහාය ලබා දීම පිණිස නොමිළේ ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධ යෝජනාව 11 වරක්  කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන්නට සිදු වූ බව ද, කෙසේ හෝ එම විප්ලවීය තීන්දුව මෙරට පාසල් අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දෙන්නට අවසානයේ අතිගරු ජනාධිපතිතුමාගේත්, ගරු අගමැතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයේත් අනුමැතිය ලබාගැනීමට හැකි වූ බව ද අමාත්‍යවරයා සිහිපත් කළේ ය. ඒ අනුව සියලු ම ජාතික පාසල්වල උසස් පෙළ සිසුන් හා ගුරුවරුන් වෙනුවෙන් ටැබ් ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ එළඹෙන අගෝස්තු මාසයේ දී ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ද ඉදිරි මාස කිහිපය තුළ සියලු ම උසස් පෙළ සිසුන් සහ ගුරුවරුන් වෙත ද ඉන් අනතුරුව මෙම පහසුකම සමස්ත පාසල් පද්ධතිය වෙත ලබාදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

පාසල් දරුවන් කියවීමට දිරිගැන්වීම අරමුණු කරගනිමින්  ‘කළණ මිතුරු - පොත් සුමිතුරු වැඩසටහන’ අධ්‍යාපන පද්ධතිය වෙත හඳුන්වා දි ඇති බව ද මේ යටතේ රුපියල් මිලියන 300කට වඩා පුස්තකාල කියවීම් පොත් දැනටමත් පාසල් වෙත ලබා දී ඇති බව ද, වැඩියෙන් ම කියවීම ප්‍රගුණ කළ පාසල් දරුවන් 1000ක් ගෙන්වා කොළඹ දී ඔවුන් ඇගයීමකට ලක්කරන බව ද, ඔවුන් අතරින් ඉහළම ඇගයීම් ලබන දරුවන් 100 දෙනෙකුට චීන සංචාරයකට අවස්ථාව ලබාදෙන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය. පොතපත කියවීමට ඇති උනන්දුව දරුවන්ගෙන් ගිලිහී යන බවට වන ප්‍රවණතාව වෙනස් කිරීමට මේ හරහා දිරිගැන්වීමක් ලැබෙනු ඇති බව ද අමාත්‍යතුමා පැවසීය.

ඇතැම් පාසල්වල අපිළිවෙළ ට, අසංවිධානාත්මක ව  ගොඩනැගිලි, වැසිකිළි ඒකක ආදිය ඉදිකර ඇති අයුරු තමාට නිරීක්ෂණය වූ බවත්, එවැනි ඉදිකිරීම්වලට  ඉදිරියේ දී ඉඩ නොතබන බවත් එක් නිශ්චිත ප්‍රමිතියකට සෑම පාසලක ම ගොඩනැගිලි ඉදිකිරීම් සිදුකිරීමට මූලික සැලැසුම්  (මාස්ටර් ප්ලෑන්) සෑදීමට පියවර ගන්නා ලෙස මේ වනවිටත් චක්‍රලේඛ මගින් විදුහල් ප්‍රධානීන් දැනුවත් කර ඇති බව ද  අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

කිසිදු දේශපාලන අතපෙවීමකින් තොරව මෙරට අධ්‍යාපන පද්ධතිය වෙත විදුහල්පතිවරු 4000ක් බඳවාගත් බව ද, ඉදිරියේ දී තවත් 2000ක් බඳවාගැනීමට කටයුතු සූදානම් ව පවතින බව ද ගුරු අධ්‍යාපනඥ සේවයට 1190ක් ද අධ්‍යාපන පරිපාලන සේවයට නිලධාරීන් 852ක් ද බඳවාගැනීමට කටයුතු කළ බව සඳහන් කළ අමාත්‍යවරයා ක්‍රීඩා පුහුණු කරුවන් 3888ක් බඳවාගැනීමට නොබෝ දා කටයුතු කළ බවද ප්‍රකාශ කළේ ය.

මෙහි දී  තවදුරටත් කරුණු දැක් වූ අමාත්‍යවරයා,  “විද්‍යාපීඨවලට ඉස්සර එකවර ගත්තෙ 3000ක් විතර. අපි ඒක 4500ක් කළා. අපි මේ සැරේ කණ්ඩායම් දෙකක් ගන්නවා . දැන් ඒ කටයුතු අවසාන වෙමින් යනවා. මේ සැරේ 8000කට වැඩියි. අගෝස්තු මාසෙ පළවෙනි ද වෙද්දි රජය උපාධිධාරීන් 15000කට පත්වීම් දෙනවා.. එයින් 5000ක් අපේ අධ්‍යාපන පද්ධතියට ගන්නවා, කැබිනට් පේපර් එකක් දාලා. මේ ඔක්කොම වෙද්දි අනාගතයෙදි ගුරු හිඟයක් ඇති වෙන්නෙ නෑ. අපි මේ රටේ අධ්‍යාපනය තුළ සම්පූර්ණ පරිවර්තනයක් කරල තියෙනවා, අපි ආණ්ඩුවක් විදියට නිහඩ විප්ලවයක් කළා. සුරක්ෂා රක්ෂණයෙන් හැම දරුවෙක් ම රක්ෂණය කළා. සුදුවෑන් වෙනුවට දැන් එන්නෙ සුවසැරිය. අපි ඇතිකරපු නිදහස නිසා විවිධ පාර්ශව විවිධාකාරයෙන් අපට මඩ ගහයි. ඒත් අපි විශාල වැඩකොටසක් කරල තියෙනවා,යැයි ද පැවසීය.

මේ අවස්ථාවට බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.