අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යාංශයේ පත්තලගෙදර ගබඩාවේ හදිසි නිරීක්ෂණයක

මුද්‍රණය

15350636 10154839501344060 5047553826053900723 n
කෝටි ගණනක් වටිනා රසායන ද්‍රව්‍ය සහ විද්‍යාගාර උපකරණ ඇතුළු වටිනා සම්පත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පත්තලගෙදර ගබඩාවේ විනාශ මුඛයට යමින් පවතින බවට ලද තොරතුරකට අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (05) දහවල් එහි හදිසි සංචාරයක නිරත වුණා.

ගම්පහ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය අසල ඉඩමක ස්ථාපිත කොට ඇති පත්තලගෙදර ගබඩාව තුළ දිවයිනේ සියලුම පාසල් හා විද්‍යාපීඨ සඳහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය, විද්‍යාගාර උපකරණ ඇතුලුව අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ගබඩා කොට තැබෙනවා. කෙසේ වෙතත් නිසි ගබඩා කිරීමේ ක්‍රමවේදයන්ගෙන් තොරව මෙම භාණ්ඩ ගබඩා කිරීම හේතුවෙන් මේවන විටත් රුපියල් කෝටි ගණනක ද්‍රව්‍ය විනාශ මුඛයට යමින් පවතිනවා. මීට අමතරව නිසි පරිදි අදාළ ද්‍රව්‍ය ලේඛනගත නොකිරීම හරහා ද වංචාවක් සිදුව ඇති බවට මේවන විට තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා.

පත්තලගෙදර ගබඩාවේ සිදු වූ ඇතැයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට අමාත්‍යවරයා විසින් පත් කළ විශ්‍රාමික විගණන අධිකාරීවරයෙක් යටතේ විශේෂ විමර්ශනයක් මේ වන විටත් සිදු කෙරෙමින් පවතිනවා. එම විමර්ශනය මගින් දැනට හෙළිදරව් වී ඇති පරිදි පසුගිය සමයේ දී පාසල්වල විද්‍යාගාර ඉදිකිරීමටත් පෙර එම විද්‍යාගාරවල භාවිතා කිරීම සඳහා මිලදී ගත් ඇතැම් රසායනික ද්‍රව්‍ය කල් ඉකුත්වීමට ලක් වී ඇති බවත් ඇතැම් ද්‍රව්‍ය ගබඩාවේ තිබිය දී හිගයක් මවා පාමින් පාසල් වෙත අඩුවෙන් බෙදා හැර ඇති බවත් හෙලි දරව් වී තිබෙනවා.

මීට අමතරව භාණ්ඩ ඇසුරුම් අදාළ කාලානුරූප තොරතුරු අනුව සකස්කර නැති අතර පසුගිය වසර 6 තුළ ම භාණ්ඩ තොග සමීක්ෂණයක් ද සිදු කර නැහැ. එසේම අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ පිළිබඳව වගකිව යුතු ඇතැම් නිලධාරීන් තම රාජකාරිය නිසි අයුරින් ඉටු කිරීම පැහැර හැරීමක් සිදු කර ඇති ද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් පැවැත්වෙනවා. එසේම වැඩිදුරටත් තොරතුරු විමර්ශනයේ දී පිරිවිතරයන්ට අනුකූලව භාණ්ඩ පවතීදැයි සොයා නොබලා ලේඛන පමණක් පරීක්ෂා කොට ඇතැම් ගෙවීම් සඳහා නිර්දේශ ඉදිරිපත් කර ඇති අවස්ථා ද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍යවරයා පැවසුවේ වර්තමාන අධ්‍යාපන අමාත්‍යාංශය ජනතාවගේ මුදල් නාස්තියකින් තොරව උපරිම ඵලදායිතාවයකින් යුතුව භාවිතා කිරීමට කටයුතු කරන අතරතුර ඇතැම් නිලධාරීන් විසින් රාජ්‍ය මුදල් නාස්තිකර දමමින් සිදු කර ඇති මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව තමන් දැඩිව කටයුතු කරන බවයි. එමෙන්ම ඉදිරියේ දී මෙවැනි රාජ්‍ය සම්පත් විනාශවීම වැළක්වීමට උපරිම පියවර ගන්නා බවත්, සියලුම ආකාරයේ දූෂණ අක්‍රකමිතා නවතා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අභ්‍යන්තරයේ කැපී පෙනෙන වෙනස්කම් රැසක් මේවන විටත් සිදු කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළා.