ගණිතය සෑම පාසල් දරුවෙකුගේ ම ප්‍රියතම විෂය බවට පත්කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි.

මුද්‍රණය

පාසල්වල 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සියලු ම පාසල් සිසුන්ට ගණිත විෂය ප්‍රියතම විෂයක් බවට  පත් කිරීමට සහ  විෂය සාධන මට්ටම් වැඩිදියුණු කිරීමට  අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිත ශාඛාව විසින් සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කර ඇත.

ගණිත සංකල්ප එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික අවස්ථා  සමඟ සම්බන්ධ කරමින් සිසුන්ට සරලව තේරුම් ගැනීමට හැකිවන පරිදි  ක්‍රියාකාරකම් මගින් අවබෝධ කර ගැනීමට අවස්ථාව සැලසීම මෙම වැඩසටහනේ දී  සිදු කෙරේ.

මෙම ක්‍රියාකාරකම් මගින් සිසුන් තුළ නිර්මාණශීලීත්වය, ගැටලු විසඳීමේ හැකියාව, සන්නිවේදන හැකියාව, ක්‍රමවත් බව, තර්කානුකූල චින්තනය යනාදී කුසලතා වර්ධනය කෙරේ. මෙම වැඩසටහන ප්‍රාථමික ශ්‍රේණියත්, ද්විතීයික ශ්‍රේණියත් ආවරණය වන ලෙස අදියර තුනකින් යුක්තය. මෙයට අදාළ ව ඉගෙනුම් සම්පත් ද්‍රව්‍ය, ක්‍රියාකාරකම් පොත් සම්පාදනය කර ඇති අතර දැනටමත් පාසල් 150ක විදුහල්පතිවරු සහ අදාළ ගුරුභවතුන් දැනුවත් කර ඇත.

ගණිත විෂය සාධනය ඉහළ නැංවීම සඳහා ඉතාම කෙටිකාලයක් තුළ දී ගත් පියවර හේතුවෙන් 2015 දී අ.පො.ස.(සා.පෙළ) ගණිත විෂය සමත්වීමේ 55% ක් වූ ප්‍රතිශතය  2016 දී 63% ක් ද, 2017 දී 67% ක් සහ 2018 වන විට 68% ක් දක්වා වර්ධනය වී තිබේ. ගණිත විෂයයේ දක්නට ලැබෙන මෙම සාධනීය ප්‍රවණතාව තවදුරටත් ඉහළ නංවා ගැනීම මෙම විධිමත් වැඩපිළිවෙල මගින් අපේක්ෂා කෙරේ.