කලණ මිතුරු පොත් සුමිතුරු වැඩසටහන යටතේ වැඩි ම පොත් කියවන්නන්ට පදක්කම් පොත් කියවා හොඳම වාර්තා ඉදිරිපත් කළ සිසුන් සිය දෙනෙකුට චීන සංචාරයක්

මුද්‍රණය

 ශ්‍රී ලංකාවේ  පාසල් දරුවන් අතර පොත් කියවීමේ පුරුද්ද ඉහළ නැංවීමත්, ඔවුන් කියවීමට දිරිගැන්වීමත්  අරමුණු කරමින්, පාසල් පද්ධතිය වෙත හඳුන්වා දී ඇති කලණ මිතුරු පොත් සුමිතුරු - ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන මේ වනවිට පාසල් සිසුන් අතර ඉතා ප්‍රචලිත ව පවතින අතර, එහි පළමු අදියරේ සිසු ඇගයීම් කටයුතු ‍එළඹෙන සැප්තැම්බර් මාසයේ දී සිදුකිරීමට නියමිතයි.

තාක්ෂණය තුළින් නව ලොව දැනුම සොයා යන දරුවන් තුළ පොත් කියවීමේ පුරුද්ද ඇති කිරීම කාලීන අවශ්‍යතාවක් සේ හඳුනා ගනිමින් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාවට නංවා ඇති මෙම වැඩසටහන යටතේ  පාසල්, කලාප, පළාත් සහ ජාතික වශයෙන් ප්‍රධාන අදියර 4ක් යටතේ සිසුදරුවන්ගේ කියවීම් කුසලතා මැන බැලීමක් සිදුකෙරේ. දිවයිනේ සියලු ම පාසල්වල  6- 13 ශ්‍රේණිවල සිසුන්ට ‍ මෙම වැඩසටහන‍‍ට එක්වෙමින් පොත්පත් කියවීම වැඩිදියුණු කරගැනීමේ අවස්ථාව සලසා තිබේ.

කියවීමට වඩාත් සුදුසු ගුණාත්මක පොත් පත් හඳුනාගනිමින්, නිරන්තර කියවීම් පුරුදු  වැඩිදියුණු කරගනිමින්, ඒ හරහා දැනුම,අවබෝධය සහ රසවින්දනය වැඩිදියුණු කරගනිමින් පොත් පත් පරිශීලනය කිරීමේ කුසලතා සංවර්ධනය කරගැනීමට මෙම වැඩසටහන පැහැදිලි පිටුබලයක් සපයයි.  මේ සඳහා සහභාගී වන සියලු සිසුන්ට, තමන් විසින් කියවා රසවිඳින පොත් සම්බන්ධ ව සාහිත්‍යමය විචාර වාර්තාවක් සකස් කිරීමට ද පැවරෙයි. එම වාර්තා අතරින් විශිෂ්ටතම වාර්තා සම්පාදනය කරන සිසුන්ට වසරේ හොඳම පාසල් කියවන්නන් අතරට එක්ව ප්ලැටිනම්, රන් සහ රිදී පදක්කම් හිමි කරගැනීමට අවස්ථාව සැලසෙයි. ඒ අනුව මේ වසරේ   වැඩිම පොත් ප්‍රමාණයක් කියවමින් පදක්කම්  හිමිකරගැනීමට සූදානමින් සිටින සිසුන් සංඛ්‍යාව 3000කට ආසන්න ය.  පොත් 100ට වැඩියෙන් කියවා වාර්තා සම්පාදනය කර එවූ සිසුන්ට ප්ලැටිනම් පදක්කමත්, පොත් 75-100ත් අතර කියවූ සිසුන්ට රන් පදක්කමත්, පොත් 50-75ත් අතර කියවූ සිසුන්ට රිදී පදක්කමත් මේ අනුව ලබාදීමට නියමිත ය.

වැඩිම පොත් සංඛ්‍යාවක් කියවා ප්ලැටිනම් පදක්කම් ලබන සිසුන් අතරින් ජාතික මට්ටමින් හඳුනාගන්නා විශිෂ්ටත ම සිසුන් සියදෙනෙකුට, ඉදිරි මාස තුන ඇතුළත චීනයේ අධ්‍යයන සංචාරයක් සඳහා අවස්ථාව ලබාදීමට ද අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ උපදෙස් පරිදි මේ වනවිට සියලු කටයුතු සූදානම් ව පවතී.

දිවයිනේ සියලු පාසල් පුස්තකාල සංවර්ධනය කර, දරුවන් කියවීමට නැඹුරු කරවීම ජාතික වගකීමක් සේ හඳුනාගනිමින් කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරන අතර, පාසල් දරුවන් දැනුම සහ අවබෝධය  සපිරි නිර්මාණශීලී දරුවන් පාසල් පද්ධතිය තුළින් බිහිකිරීම වෙනුවෙන් කලණ මිතුරු පොත් සුමිතුරු කියවීම් ප්‍රවර්ධන වැඩසටහන නිසැකවම සැබෑ සමාජ උත්ප්‍රේරකයක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ වනවිටත් මෙරට පාසල් පුස්තකාල වෙත පොත් ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යතුමන්ගේ උපදෙස් පරිදි රුපියල් මිලියන 700ක මුදලක් ලබා දී ඇති අතර, එය පාසල් පුස්තකාල වෙනුවෙන් ඉතිහාසයේ මෙතෙක් ලබාදී ඇති වැඩිම මූල්‍ය ප්‍රතිපාදනය ද වෙයි. එමෙන් ම පාසල් දරුවන් සඳහා සුදුසු ප්‍රමිතියකින් යුත් ගුණාත්මක පොත් පමණක් පාසල් පුස්තකාල වෙත ලබාදීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රථම වරට පාසල් පුස්තකාල සඳහා නිර්දේශිත ග්‍රන්ථ නාමාවලියක් ද මේ වනවිට සම්පාදනය කර තිබේ.

වසරක් පාසා අඛණ්ඩ ව ක්‍රියාවට නංවනු ලබන මෙම වැඩසටහන සම්බන්ධ සියලු විස්තර ඇතුළත් චක්‍රලේඛ සියලු පාසල් වෙත යොමුකර ඇති අතර, අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියෙන් ද මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු දැනගත හැකි ය.