නව අධ්‍යාපන පනතින් ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල් නියාමනයත් අධ්‍යාපන අමාතයාංශය යටතට.

මුද්‍රණය

මේ වනවිට සකස් කර අවසන් වී තිබෙන නව අධ්‍යාපන පනතින් ජාත්‍යන්තර පාසල් හා වෙනත් පාසල් නියාමනය කිරීමේ බලය අධ්‍යාපන අමාතයාංශයට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර පාසල් වර්තමානයේ පවත්වාගෙන යනු ලබන්නේ සමාගම් පනත හෝ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ සමාගමක් හෝ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීමෙන් නිසා එම පාසල් පිළිබඳව නිවැරැදි තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශය සතු නොවන බව ද අමාත්‍යවරයා පැවසීය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි සහ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ යන මහත්වරුන් අසා තිබූ ප්‍රශ්න දෙකකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ජාත්‍යන්තර පාසල් ලියාපදිංචි කර නොමැති බැවින්, ඒවාට ගුරුවරුන් බඳවා ගැනීම, ගාස්තු අය කිරීම, නියාමනය වැනි කරුණු සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍යාංශයට බලය නැති බව ද පැවසූ අමාත්‍යවරයා මේ වනවිට සම්පාදනය කොට අවසන් ව තිබෙන නව අධ්‍යාපන පනතින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් ඇතුලු සියලුම වර්ගයේ පාසල් නියාමනයේ බලය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පැවරෙන බව ද පැවසීය.

මද්‍රසා පාසල් නියාමනය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගැනීම සඳහා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ගෙන යන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

බොහෝ මවුපියන් තම දරුවන් පෞද්ගලික පාසල්වලට ඇතුළත් කරන්නේ ඔවුන්ට ඒ සඳහා හැකියාවක් තිබෙන නිසාම නොව පදිංචිය ආසන්නයේ ජනප්‍රිය පාසල් සොයා ගැනීමට නොහැකි නිසා මෙන් ම තදබදය නිසා රජයේ පාසලකට ඇතුළත් කර ගැනීමට තිබෙන දුෂ්කරතා හේතුවෙන් බවත් සඳහන් කළ අමාත්‍යවරයා පළමු වැනි ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමට ශක්තිමත් චක්‍රලේඛයක් සකස් කර ඇති අතර සියලුම ජාතික පාසල්වල 1 සහ 6 ශ්‍රේණි හැර අතර මැද පන්තිවල පුරප්පාඩු පිළිබඳව පුවත්පත් දැන්වීම් පළ කොට සම්මුඛ පරීක්ෂණ මගින් සුදුස්සන් බඳවා ගැනීමට ක්‍රියාකර ඇති බව ද පැවසීය.