අධ්‍යාපනයේ සේවා තුනක නිලධාරීන් ට විශ්‍රාම ගැනීම සඳහා අවසර දීමේ බලය අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරේ

මුද්‍රණය

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය හා ශ්‍රී ලංකා විදුහල්පති සේවය යන සේවා තුනෙහි නිලධාරීන්ට  විශ්‍රාම ලබා ගැනීම සඳහා අවසරදීමට තමන් සතුව පැවැති බලය, රාජ්‍ය සේවා කොමිසම විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පවරනු ලබයි.

සියලු ලිපි ලේඛන සහිත ව ඉදිරිපත් කරන ලද විශ්‍රාම ලිපි ගොනුවලට පවා අවසර ලබාදීමේ දී සිදු වූ අපහසුතා හේතුවෙන් ඇතැම් නිලධාරීන් මාස ගණනක් විශ්‍රාම වැටුප ලබා ගැනීමට ප්‍රමාද වූ බවට අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබිණි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශය රාජ්‍ය සේවා කොමිසමෙන් කරන ලද ඉල්ලීම් සඳහා ප්‍රතිචාර වශයෙන් මෙම බලය පැවරීම සිදු කර ඇත.

විනය කරුණු හා වෙනත් ගැටලු සහිත නිලධාරීන් හැර, සාමාන්‍ය ක්‍රමය යටතේ නියමිත දිනයේ දී විශ්‍රාම ලබා ගැනීමට ඉල්ලා ඇති නිලධාරීන් ට පමණක් අවසරදීමට අමාත්‍යාංශයට බලය ලැබී ඇත.

විශ්‍රාම ලබා ගැනීමට අපේක්ෂිත නිලධාරීන් මාස හයකට පෙර සිය අංගසම්පූර්ණ ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතුය.

එම සේවා තුනේ විසිදෙදහසකට ආසන්න නිලධාරි පිරිසකට මේ අනුව නියමිත දිනයේ දී විශ්‍රාම ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මේ අතර විශ්‍රාම ගැනීමට අපේක්ෂිත ජාතික පාසල් ගුරුවරුන් ද, පළාත් පාසල් ගුරුවරුන් ද සිය විශ්‍රාම අයදුම්පත් පළාත් අධ්‍යාපන කාර්යාල වෙත යොමු කළ යුතුව තිබේ. සිය අංගසම්පූර්ණ අයදුම්පත් මාස 06 කට පෙර එම කාර්යාල වෙත යොමු කිරීමෙන් ප්‍රමාදයකින් තොරව නියමිත දිනයට විශ්‍රාම වැටුප ලබා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බව ද අමාත්‍යාංශය පවසයි