ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව අවසන් කරන ලද ඩිප්ලෝමාධාරීන් 4286කට ගුරු පත්වීම්..

මුද්‍රණය

අධ්‍යාපනයේ මානව සම්පත සහ භෞතික සම්පත දියුණු කිරීම සඳහා වත්මන් රජය විශාල කැපවීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවත්නා ගුරු පුරප්පාඩු සඳහා 2015/2017 අධ්‍යයන වර්ෂයේ දී තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව අවසන් කරන ලද ඩිප්ලෝමාධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) අරලියගහ මන්දිරයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යතුමන් මේ අදහස් පළ කළා.

ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක ගුරු අධ්‍යාපන පාඨමාලා 31ක් යටතේ පුහුණුව ලැබූ ඩිප්ලෝමාධාරීන් 4286කට අද දින පත්වීම් ලබාදුන් අතර, සිංහල මාධ්‍ය ගුරුපත්වීම් 2340ක්, දෙමළ මාධ්‍ය ගුරු පත්වීම් 1300ක් සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පත්වීම් 646ක් මීට ඇතුළත්.

2015-05-08 දිනැති ගැසට් නිවේදනයේ විධිවිධානවලට අනුකූල ව, මෙම විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභීන් බඳවාගැනීමේ ක්‍රියාවලිය සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මැතිතුමන් විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර, ඒ අනුව 2018 වසරේ පාසල් පද්ධතිය තුළ ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගුරු අවශ්‍යතාව පදනම් කරගනිමින් මෙම ශික්ෂණලාභීන් බඳවාගනු ලැබුවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම උත්සවය අමතමින් සඳහන් කළේ වත්මන් රජය අධ්‍යාපනය නවීකරණය කර ඇති බවයි.

මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2016/2017 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත 2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් බඳවාගැනීමට ද සියලු කටයුතු සම්පාදනය කර ඇති අතර ශික්ෂණලාභීන් 8000ක් බඳවාගැනීම එළඹෙන සැප්තැම්බර් 25 වන දින සිදුකිරීමට නියමිතයි.

එමෙන් ම, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ගේ දීමනාව 2018 වසරේ සිට රුපියල් 3,500 සිට රුපියල් 5,000 දක්වා ඉහළ නැංවීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනටමත් පියවර ගෙන තිබෙනවා.