ශ්‍රී ලංකාවේ දෙවැනි ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත මිශ්‍ර පාසල ලෙසින් 'දොන් ස්ටීවන් විද්‍යාලය ඉදි කිරීමට' මුල්ගල තබයි..

මුද්‍රණය

දැයේ දරුවන්ගේ සුවහසක් අනාගත අපේක්ෂාවන් අධ්‍යාපනය තුළින් ඉටුකරලීම සඳහා “ළඟම පාසල හොඳම පාසල” බවට පත් කරන්නට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ගනු ලබන විවිධ පියවර අතර තවත් එක් සුවිශේෂී අවස්ථාවක් ලෙස නව ත්‍රෛභාෂා පාසලක් ඉදි කිරීමට මුල්ගල තැබීම අද ( 20 ) මීරිගම දී සිදු කෙරුණා.

කථානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම මත ඉදිකෙරෙන මෙම පාසල සඳහා මුල්ගල තැබීම සිදු කරන ලද්දේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමාට ගෞරවයක් ලෙස දොන් ස්ටීවන් විද්‍යාලය නමින් මෙම පාසල නම් කෙරෙන අතර මෙය අයත් වන්නේ මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයටය.

“ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ ඉදි කරන ශ්‍රී ලංකාවේ දෙවැනි ත්‍රෛභාෂා අධ්‍යාපනය සහිත මිශ්‍ර පාසල වන මේ සඳහා ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 1,142 කි.

අක්කර 12 ක භූමි භාගයක ඉදිවන මෙම පාසල වර්ෂ 2020 දී සිසු අයිතියට පැවරීමට යෝජිතය. මෙහි 6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වීමට නියමිත අතර සුහුරු පන්ති කාමර ඇතුලු නවීන පහසුකම්වලින් මෙම පාසල සමන්විතවීම විශේෂත්වයකි.