“අගමැතිතුමන්ගේ නායකත්වයෙන් හා මගපෙන්වීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉතා විශාල වැඩකොටසක් කරන්නට අපට හැකියාව ලැබුණා “…

මුද්‍රණය

අධ්‍යාපන අමාත්‍යනීතීඥ අකිල විරාජ් කාරියවසම්

ගතවූ වසර කිහිපය තුළ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශාල වැඩකොටසක් සිදුකරන්නට හැකිවූ බවත්,  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගෙන් ලැබුණු මගපෙන්වීම හා නායකත්වය ඒ සඳහා විශාල පිටුබලයක් වූ බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රටට දායාද කිරීම අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාවට නැංවෙන ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ  මීරිගම, පස්යාල, දන්සැලේවත්තේ ඉදිකිරීමට යෝජිත දෙවැනි ත්‍රෛභාෂා මිශ්‍ර ජාතික පාසලට මුල්ගල තැබීම වෙනුවෙන් අද (20) පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

කථානායක කරු ජයසූරිය මහතාගේ විශේෂ ඉල්ලීම මත කැබිනට් අනුමැතිය ලබාගනිමින් ඉදිකෙරෙන මෙම පාසල සඳහා මුල්ගල තැබීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමාට ගෞරවයක් ලෙස දොන් ස්ටීවන් විද්‍යාලය නමින් මෙම පාසල නම්කර තිබේ.  මේ සඳහා රුපියල් මිලියන 1,142 ක මූල්‍ය ආයෝජනයක් සිදුකර ඇති අතර, අක්කර 12 ක භූමි භාගයක ඉදිවන මෙම පාසල 2020 වසරේ දී සිසු අයිතියට පැවරීමට යෝජිත ය.  මෙහි  6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වීමට නියමිත අතර සුහුරු පන්ති කාමර ඇතුළු නවීන පහසුකම්වලින් මෙම පාසල සමන්විතවීම විශේෂත්වයකි.

මෙහි දී අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යවරයා,

ජාතික පාසල් රැසක අතරමැදි පන්තිවල පුරප්පාඩු 45000ක් අපි හඳුනා ගත්තා. පුරප්පාඩු නොතිබුණ පාසල් තිබුණෙ 20ක් වගේ සුළු ප්‍රමාණයක්. දෙමළ මාධ්‍ය පාසල්වල පුරප්පාඩු 15000ක් තිබුණා. ඉදිරි සතියෙදි සම්මුඛ පරීක්ෂණ මගින් පළමු අදියරේ තෝරාගත් සිසුන් 4000ක් අපි පාසල්වලට ඇතුළත් කරගන්නවා. මේවා ගැන මීට පෙර කවුරුවත් අවධානය යොමුකරල තිබුණෙ නෑ... යැයි ද සඳහන් කළේය.

නගරයේ ප්‍රධාන පාසල්වලට පවත්නා තදබදය සහ තරගය  ඉවත් කරමින්  එම පාසල්වල පවත්නා පහසුකම්  සියල්ල සහිත නව ජාතික පාසල් ග්‍රාමීය ප්‍රදේශවලට ලබාදීම වෙනුවෙන් ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන යටතේ නව ජාතික පාසල් ඉදිකිරීමට පියවර ගත් බවත්, මේ යටතේ පළමු ත්‍රෛභාෂා ජාතික පාසල කුරුණෑගල මගුරුඔයවත්තේ ආරම්භ කළ බවත්, ඉදිරියේ දී පේරාදෙනිය විශ්වවිද්‍යාල පරිශ්‍රයෙහි මෙවැනි තවත් නව ජාතික පාසලක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ තවත් ජාතික පාසල් 4ක් ද ඉදිකිරීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහි දී අදහස් පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, මහාමාන්‍ය ඩී එස් සේනානායක අගමැතිතුමාගෙ කාලෙ මීරිගමට මධ්‍ය මහා විද්‍යාල දෙකක් ලබාදුන්නා. අද ඒ වාර්තාව අලුත් කරල කරු ජයසූරිය මැතිතුමා ඩී එස් සේනානායක මැතිතුමා වෙනුවෙන් භාෂා තුනෙන් ම කටයුතු කරන පාසලක් විදියට මේ පාසල ආරම්භ කිරීමට කටයුතු කිරීම අගය කළ යුතුයි. මේ ප්‍රදේශයට මෙවැනි පාසලක් වුවමනායි. වැඩියෙන් ම සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට මුදල් වියදම් කළේ මේ ආණ්ඩුව..මීට පෙර ලංකා ඉතිහාසයේ මෙහෙම ගොඩනැගිලි ලබාදීල නෑ. දැන් අපට ඉන්නේ ගුරු සේවයේ පුහුණු ගුරුවරු. විදුහල්පතිවරුන් උසස්වීම් ලබන්නෙ විභාගවලින්. වසර 13ක් සියලු ම සිසුන් අධ්‍යාපනය ලබනවා. විශාල උනන්දුවක් අරගෙන අධ්‍යාපන අමාත්‍ය අකිල කාරියවසම් මැතිතුමා නායකත්වය ලබාදීම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ලැබිල තියෙනවා “ යයි සඳහන් කළේය.

කතානායක කරු ජයසූරිය මැතිතුමන්, අමාත්‍යාංශයේ ලේකම් එම් එන් රණසිංහ, අතිරේක ලේකම් ළඟම පාසල අධ්‍යක්ෂ පද්මනාදන් කුරුණෑගල වැවිලි සමාගමේ සභාපති පියසෝම උපාලි,  මීරිගම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති උදේන විජේරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.