අනෙකුත් වෘත්තිකයන් බිහි කළ හැක්කේ ගුරුවරුන්ට පමණක් බැවින් ගුරු වෘත්තිය ලෝකයේ ශ්‍රේෂ්ඨතම වෘත්තියයි

මුද්‍රණය

පෙර වර්ෂවල මෙන් නොව මෙවර පළාතක් පාසා ගොස් විද්‍යාත්මකව      ක්‍රමයකට සිදු කරන ලද ඇගයීම් ක්‍රමවේදයකින් ප්‍රණාම පිරිනැමිමට සුදුසු ගුරු හා විදුහල්පතිවරුන් තෝරා ගැනීම නිසා හොඳම කණ්ඩායම බවට පත්වීම සම්බන්ධයෙන් ආඩම්බරවීමට පවා අවස්ථාව අද ප්‍රණාම ලබන ගුරු භවතුන්ට හිමිවිම ගැන අමාත්‍යවරයා සිය ප්‍රශංසාව පිරි නැමුවේය.

අමාත්‍යවරයා එසේ ප්‍රශංසා පිරිනැමුවේ ඔක්තෝබර් 05 වැනිදාට යෙදෙන ලෝක ගුරු දිනය වෙනුවෙන් වසරක් පාසා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන ගුරු ප්‍රතිභා ප්‍රණාම උළෙල අද (04) දින අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති අවස්ථාවේදීය. මෙහිදී 2019 වසර වෙනුවෙන් පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් 110  දෙනෙකු සහ පරිවේණාචාර්යවරුන් හා ගුරුවරුන් 157 දෙනෙකු ඇගයීමට ලක් විය.

කොතරම් අමාරුකම් පැවැතිය ද රජයක් වශයෙන් ප්‍රශ්න තිබුණ ද ඒවා අවම කර ගනිමින් පසු අවුරුදු පහක කාලය තුළ අධ්‍යාපනයේ විශාල වෙනස්කම් රැසක් සිදු කරන ලද බව පැවසූ අමාත්‍යවරයා  “ළඟම පාසල හොඳම පාසල” -  වැඩසටහන යටතේ ව්‍යාපෘති 18,000 ක් ක්‍රියාත්මක වුණා. ගොඩනැගිලි 2,000 ක් පමණ ලබා දුන්නා. ඩිජිටල් පන්ති කාමර සහිත කුරුණෑගල විශ්වෝදා වැනි පාසල් ආරම්භ කළා. මීරිගම දී එවැනි පාසලක ට ඉකුත්දා මුල්ගල තැබුවා. පේරාදෙණියේ එවැනි පාසලක් ආරම්භ කරනවා. කොළඹ තවත් පාසල් හතරක් ආරම්භ වෙනවා. භෞතික සම්පත පමණක් නොව මානව සම්පත ද නොඅඩුව ලබා දුන්නා.  මෙකල තරම් විධිමත් ක්‍රමයකට බඳවා ගැනීම් මීට ඉහත සිදු කර නැහැ. විද්‍යාපීඨ සඳහා 2015 දී බඳවා ගත්තේ 3,000 ක් පමණයි. විද්‍යාපීඨ දහනවයේ ම නේවාසිකාගාර ඇතුලු පහසුකම් සම්පූර්ණ කර මෙවර බඳවා ගන්නා සංඛ්‍යාව 8,000 දක්වා වැඩි කළා. ලබන වසරේ ද 8,000 ක් බඳවා ගත හැකියි. විද්‍යාපීඨ සිසු දීමනාව 3,500/- සිට 5,000/- දක්වා වැඩි කළා. ක්‍රීඩා පුහුණුකරුවන් 3,888 ක් බඳවා ගෙන පුහුණුවෙන් පසු පාසල්වලට පත් කළා.

“අනාගත ආයෝජනයක් වශයෙන් සලකා තරුණ විදුහල්පතිවරුන්, ගුරු අධ්‍යාපනඥයන් හා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් ද ඇතුලු දෙදහසකට වැඩි පිරිසකට විදේශ පුහුණුව ලබා දුන්නා. විභාග දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දුන්නා”

“ප්‍රථම වරට පාසල් සිය ගණනක ඩිජිටල් පන්ති කාමර ආරම්භ කිරීමට කටයුතු කළා. විශ්වෝදා පාසල් හැම එකකම ඩිජිටල් පන්ති කාමර තිබෙනවා. ජාතික පාසල්වල උසස් පෙළ සිසුනට හා ගුරුවරුන්ට ලබාදීම සඳහා ටැබ් පරිගණක ආනයන කටයුතු සිදුවීමට ඉතා ආසන්නයි” යනුවෙන් ද අමාත්‍යවරයා පැවසුවේය.

අධ්‍යාපනයේ සිදුවන මෙම පරිවර්තනයට මුහුණදීම සඳහා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් සූදානම් විය යුතු බවත්, හොඳ ගුරුවරයෙකුගේ හෝ විදුහල්පතිවරයකුගේ හෝ කාර්යභාරය දරුවන් විභාග සමත් කරවීම පමණක් නොවන බවත්, මනුස්සකම හා අපේකම පවතින, දේශීය වුවත් විදේශීය වුවත් හොඳ යහපත් දේ පමණක් උකහාගත හැකි දරු පරපුරක් බිහි කළ හැකි සංකලනයක් වශයෙන් ගුරුවරයා හැඳින්වීමට හැකි බවත්, ගුරුවරයා බොහෝ විෂයයන් පිළිබඳ ඇසූ පිරූ තැන් සහිත පුද්ගලයන් විය යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“ලොව ශ්‍රේෂ්ඨතම වෘත්තිය ගුරු වෘත්තිය යැයි ද අනෙකුත් වෘත්තිකයන් බිහි කළ හැක්කේ ගුරුවරයෙකුට පමණකැයි ද” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.