යහපත් ගුරුවරයකුගේ අරමුණ‘තමා තරුවක් නම් තම සිසුවා සුර්යයා මෙන් බබළනවා දැකීමයි’ අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

මුද්‍රණය

14612555 10154636290319060 8301145092889516508 o
අවිධිමත්ව පැවති මෙරට අධ්‍යාපන පද්ධතිය විධිමත් කිරීම සඳහා ගරු ජනාධිපතිවරයාගේ හා ගරු අග්‍රාමාත්‍යවරයාගේ මග පෙන්වීම අනුව පියවර රැසක් ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඒ ලෝක ගුරු දිනය නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ “ගුරු ප්‍රතිභා ප්‍රභා” උත්සවයට එක්වෙමින්.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) කොළඹ, නෙළුම් පොකුණ රගහලේ දී පැවති මෙම උත්සවයේ දී පරිවේණාධිපති හිමිවරුන් 29 දෙනෙකු, පැවිදි ගිහි පරිවේණාචාර්යවරුන් 56 දෙනෙකු, විදුහල්පතිවරුන් 250 දෙනෙකු සහ ගුරුවරුන් 459 දෙනෙකු ඇගයීමට ලක් වුණා.

පාසල තුළ ගුරුවරුන් ඉටු කරනා සේවය විවිධ අංශයන් ඔස්සේ ඇගයීමට ලක් කර ගුරු ප‍්‍රතිභා ප‍්‍රභා-2016 ගුරු හා විදුහල්පති ප‍්‍රණාම උලෙළ සඳහා ප‍්‍රණාමලාභීන් තෝරා ගෙන තිබෙනවා.

අනාගතයට ගැලපෙන පුද්ගල පෞරුෂයන් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය දැනුම, ආකල්ප කුසලතා ලබා දෙන්නේ ගුරුවරයා බවත් ගුරුවරයාට සැලකීම සඳහා, ඔහු කරන සේවය ඇගයීම සඳහා හා කෘතගුණතාවය පළ කිරීම සඳහා ගුරුවරයා වෙනුවෙන් දිනයක්‌ නම් කර තිබීම අමාත්‍යවරයා වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, කලාකරුවන්, ගායකයින්, ගණකාධිකාරීන්, කාර්මික ශිල්පීන් ආදී ලොව සියලුම වෘත්තිකයින් නිර්මාණය කරන්නේ ගුරුවරයා බැවින් සෙසු වෘත්තිකයන් නොලබන සමාජ ගෞරවය ගුරුවරයාට හා ගුරු වෘත්තියට හිමිවන බව ද සඳහන් කළා.

ශිෂ්‍යයකුට තමන්ගේ ජීවිත කාලය තුළ ගුරුවරු රාශියක් සිටිය හැකි නමුත් ශිෂ්‍යයාගේ ගෞරවය ලබන්නේ, තමාට යහමඟ පෙන්වාදුන් ගුරුවරු පමණක් බවත් සාර්ථක ගුරුවරු අගය කරන ශිෂ්‍යයන් ද සමාජයේ අගැයුමට සහ ප්‍රශංසාවට ලක් වන බවත් සිහිපත් කළ අමාත්‍යවරයා යහපත් ගුරුවරයකුගේ අරමුණ තමා තරුවක් නම් තම සිසුවා සුර්යයා මෙන් බබළනවා දැකීම බව ද සඳහන් කළා.

සාර්ථක ගුරුවරයා, වැටුප, මිල මුදල් ආදිය මත සිය වෘත්තිය පාවා නොදී නියමිත වේලාවට කලින් පාසලට පැමිණෙන බවත් නියමිත වේලාව පසු වුවද සිසුන්ට නිසි රැකවරණ සලසා පාසලෙන් නික්ම යමින් නිතරම සිසුන්ට ආදර්ශවත්ව හැසිරෙන බවත් සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා ශිෂ්‍යයන්ට මව්පියන් මෙන් යහමඟ පෙන්වන අතර ගුරු දිනයේ දී අගය කරන්නේ, එවැනි උතුම් ගුරු පියවරුන් සහ ගුරුමව්වරුන් බව ද සිහිපත් කළා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තම කතාව අවසන් කළේ චින්ගීස් අයිත්මාතව් ගේ ගුරු ගීතයේ පහත සඳහන් කොටස සිහිපත් කරමින්.

ගුරුතුමාගේ පා සටහන් සොයා ඒවා සිපගැනීමට මා සූදානම්ය. ඒ අඩිපාර සියලුම මාර්ග හා මාවත් වලට වඩා මට අගනේ ය. මා යලි ජීවිතයට ගෙනැවිත්, මට අලුත් විශ්වාසයක් දී, අලුත් බලාපොරොත්තු සහ ආලෝකය ලබාදුන් ඒ දවසටත්, අඩිපාරට සහ මාවතටත් ආශීර්වාද ලැබේවා..... එදා පෑයූ ඉරටත්, පැවති කාලගුණයටත්, කෘතඥතාවය හිමිවේවා.....

2016 ගුරු ප්‍රතිභා ප්‍රභා ගුරු විදුහල්පති ප්‍රණාම උළෙල අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.එස්. රාධක්‍රිෂ්ණන්, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ඇතුළු මැති ඇමතිවරුන් හා අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.