ජාතික මට්ටමේ ක්‍රීඩා පාසල් 98 ක් කලාප මට්ටමින් ඇති කිරීමට සැලසුම්

මුද්‍රණය

14536715 181500778959673 576568602 o

පසුගිය කාලය පුරා යම් කිසි පසුබෑමකට ලක්ව තිබූ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය දියුණු කරමින් ඉදිරි වර්ෂයන් වලදී පැවැත්වීමට නියමිත කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේ තරගවලට සහභාගි වී ජයග්‍රහණ ලබා ගත හැකි පරිදි එය නඟා සිටුවීමට අවශ්‍ය භෞතික හා මානව සම්පත් ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියසම් මහතා පවසනවා.

ඒ අනුව ඉදිරියේ දී ක්‍රීඩා ගුරුවරුන් 5,000ක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන බවත් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වා ඇති වර්ණලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ගුරුවරුන් ලෙස පාසල්වල සේවය කිරීමට හැකිවන පරිදි ක්‍රීඩා ගුරුවරුන් බඳවාගැනීමේ ක්‍රමවේද සංශෝධනය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. ඒ ඊයේ (04) පැවති අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 32 වැනි වරටත් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ සිව්වන අදියර පැවැත්වීම සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

පාසල් අධ්‍යාපනය තුළින් සමබර පෞරුෂයක් සහිත පුද්ගලයෙක් බිහි කිරීමේ අරමුණින් මානසික හා ශාරීරික සමතුලිතාවය ඇති කිරීම සඳහා සෑම පාසල් දරුවකුම කුමන හෝ ක්‍රීඩාවක නිරතවීම අනිවාර්ය බව සඳහන් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. පාසල් දරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය ඉහල නැංවීමේ අරමුණින් එළිමහන් හා ගෘහස්ථ ක්‍රීඩාංගණ ඇතුළු අංග සම්පූර්ණ පහසුකම්වලින් සපිරි ක්‍රීඩා පාසලක් සෑම කලාප අධ්‍යාපන කාර්යාලයක් ම ආවරණය වන පරිදි ඉදිකිරීමට “ළඟම පාසල හොඳම පාසල වැඩසටහන” යටතේ ප්‍රතිපාදන ලබා දී ඇති බව ද සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා ඒ තුළින් දක්ෂ ක්‍රීඩකයින් රටට දායද කිරීමට හැකිවනු ඇති බවට විශ්වාසය පළ කළා.

පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ සිටින විශිෂ්ඨ දක්ෂතා දක්වන අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනාගෙන ජාතික තලයට ඔවුන් ඔසවා තැබීමට සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය එවකට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් 1984 දී ආරම්භ කරනු ලැබුවා. 32වැනි වරටත් මෙවර පවත්වනු ලබන මෙම තරගාවලිය අදියර 04 ක් ඔස්සේ පැවැත්වෙන අතර ක්‍රීඩා 27 ක් සඳහා අදියර 03ක් යටතේ පළාත් මට්ටමින් තරග පවත්වා පළාත් මට්ටමින් ජයග්‍රහණය කළ ක්‍රීඩකයින් 2684ක් සහ ක්‍රීඩිකාවන් 2437 වශයෙන් පාසල් 1452ක සහභාගීත්වයෙන් සිව්වන අදියරේ තරග පැවැත්වෙනවා.

ඔක්තෝම්බර් මස 13 වෙනිදා සිට 17 වෙනිදා දක්වා දින 05ක් මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදි මෙම මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට නියමිතයි. ඔක්තෝම්බර් මස 13 වෙනිදා පැවැත්වෙන සමාරම්භක උත්සවය ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර උළෙලේ ගිනි සිළුව රැගෙන යෑම, පසුගිය වසරේ දක්ෂතම ක්‍රීඩකයා වූ රෝෂාන් ධම්මික රණතුංග සහ දක්ෂතම ක්‍රීඩිකාව වූ රුමේෂිකා රත්නායක විසින් සිදු කරනු ඇති.

තරගාවලිය සදහා සහභාගිවන ගුරුවරුන්ට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග පැවැත්වෙන අතරතුර දිවා ආහාරය සැපයීම 1994 වර්ෂයෙන් පසු ඇණහිටව තිබූ අතර මේ ගැන අවධානය යොමු කළ අමාත්‍යවරයා මෙවර සිට ඉදිරියට තරගාවලියට සහභාගිවන සියලුම ගුරුවරුන්ට හා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දිවා ආහාරය ලබා දීමට කටයුතු යොදන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කීපයක් ඉදිරිපත්ව සිටින අතර මාධ්‍ය හමුවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන උපදේශක සුනිල් ජයවීර මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා අනුග්‍රාහක සමාගම්වල නිලධාරීන් එක්ව සිටියා.