මහජනතාවට උපරිම සේවය ලබා දීමට සියලුම දෙනා කැපවිය යුතුයි. අමාත්‍යාංශ නිලධාරීන් අමතමින් අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කරයි

මුද්‍රණය

657අධ්‍යාපන අමාත්‍යංශයේ සේවක සේවිකාවන්ගේ කුඩා දරුවන් දිවා කාලයේ රැකබලා ගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිටුවා ඇති දිවා සුරැකුම් මධ්‍යස්ථානය නව ලොවකට ගැළපෙන ලෙස අලුත්වැඩියා කර දරුවන් අතට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අද (03) සිදු කෙරුනා.

කරුණාසේන කොඩිතුවක්කු මහතා අධ්‍යාපන අමාත්‍යධූරය දරන සමයේ මෙම පූර්ව ළමා විය සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය ඉදිකර තිබුනා.

කෙසේ වෙතත් පසුගිය සමයේ එහි බොහෝ කොටස් අබලන් වී පැවති අතර අධ්‍යාපන අමාත්‍යවරාගේ සෘජු උපදෙස් මත එය ප‍්‍රතිසංස්කරණය කිරිමට අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිඅරච්චි මහතා කටයුතු කර තිබෙනවා.

නවීකරණය කරන ලද පූර්ව ළමාවිය සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ අමාත්‍යංශයේ සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුල්වල සුභ සාධනය වෙනුවෙන් කටයුතු කිරීමට ඉදිරියේ පියවර රැසක් ගන්නා බවයි.

අමාත්‍යාංශයේ සේවක සේවිකාවන්ගේ මානසික තෘප්තිමත් භාවය ඔවුන්ගේ රාජකාරී කටයුතුවල කාර්‍යක්ෂමභාවය සඳහා හේතුවන බව සදහන් කළ අමාත්‍යවරයා මෙහි අවසන් ප‍්‍රතිඵලය ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවාවන් ලබා ගැනීම සදහා පැමිණෙන මහජනතාව වෙනුවෙන් උපරිම සේවයක් ලබාදීම සියලු දෙනාගේ ම යුතුකම බව ද සඳහන් කළා.

මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටි ආරච්චි මහතා ඇතුලු නිලධාරින් රැසක් එක්ව සිටියා.