“දරුවන්ගේ අනාගතය දකින මීළඟ ආණ්ඩුව හදන්නෙත් අපි..”

මුද්‍රණය

ඉදිරි දශක දෙක තුනකින් පසුව එළඹෙන අනාගතය දකිමින්, ඒ අනුව රටේ අධ්‍යාපනය ඇතුළු සියලු ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා නිවැරදි තීන්දු තීරණ ගනිමින්, දරුවන්ගේ අනාගතය දකින මීළඟ ආණ්ඩුව හදන්නේත් එක්සත් ජාතික පක්ෂය බව පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා මේ අදහස් පළ කළේ, ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් ඊයේ (30) කුරුණෑගල පැවති ජනහමුවකට එක්වෙමිනි.

පසුගිය රජය සමයේ මැතිවරණ කාලවල දී තමා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ට මුහුණ දෙන්නට වූ අමිහිරි අත්දැකීම් ද සිහිපත් කළ අකිල විරාජ් කාරියවසම් මහතා, අද ප්‍රතිපාක්ෂික පාර්ශවකරුවන් විවිධ මාධ්‍ය යොදාගනිමින් තම පක්ෂය වෙත කෙතෙක් මඩ  ප්‍රහාර දියත් කළ ද, ඒ කිසිවකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට තම පක්ෂය කටයුතු නොකළ බවත් පැවසීය.

 අද වන විට රටේ ඕනෑම කෙනෙකුට රජයේ ආයතනයකට ගොස් තොරතුරු දැනගැනීමට හැකි පරිදි තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාවට නැංවූ බවත්, ස්වාධීන කොමිෂන් සභා පත්කර රටේ අධිකරණය, පොලිසිය, ඇතුළු රාජ්‍ය සේවය  ස්වාධීන කිරීමට පියවර ගත් බවත්, ඇතැමුන් මේ ආණ්ඩුව කළේ මොනවාදැ’යි විමසන්නේ මෙවැනි තීන්දු තීරණ ගැන කිසිවක් නොදැන බව ද, මේ ආණ්ඩුව සංදර්ශන නැතිව වැඩ කළ ආණ්ඩුවක් බව ද මෙහි දී අමාත්‍යවරයා පැහැදිලි කළේය.

තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා, එදා මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැව්වා වගේ ම මෙවර සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කරලා ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙදර යවන්නට අපි සූදානම්...ආණ්ඩුවක් කරන්නට වේගයෙන් හිතන, වේගයෙන් වැඩ කරන මිනිසුන් ඕනෑ ...යැයි ද පැවසීය. එවැනි දක්ෂ නායකයින් සිටින්නේ රාජපක්ෂ රෙජිමයේ නොව, එක්සත් ජාතික පක්ෂය තුළ බව ද මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසීය.

මේ අවස්ථාවට අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, අශෝක් අබේසිංහ, ජේ සී අලවතුවල මහතා ඇතුළු මැති ඇමතිවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන නියෝජිතවරුන් රැසක් එක්වූහ.